නොතකා පියඹ දුක්මන්
බිඳ මරුගෙ වික්මන්
පැවිදි වියටි ව කර'බිනික්මන්
(රුසිරින්) ශ්‍රී කාන්තාව ඉක්ම වු ප්‍රිය භාර්යාවගේ සිත් තැවුල් නො තකා මාරයාගේ වික්‍රමය බිඳ, මහණ වනු කැමැත්තෙන් ගිහි ගෙය හැර දමා.
බෝ මැඬ විදුරසුන්
අරා වඩමින් විදසුන්
පිළි විද සිවු සසුන්
පසුන් කර මරු සමඟ කෙලෙසුන්
බෝධි මණ්ඩපයෙහි වජ්රාසනාරූඩ ව විදර්ශනා භාවනා වඩා චතුරාර්ය සත්‍ය අවබෝධ කොට මරු හා කෙළෙසුන් නසා-
බුදු ව දැන සව්නේ
තුටු ව පල සම වතිනේ
ගොසින් ඉසිපතනේ
උතුම් දම් සක් පවත්වමිනේ
දත යුතු සියල්ල දැන බුදු වී පල සමාපත්තියෙන් සතුටු ව, ඉසිපතනයට ගොස් උතුම් දම් සක් පවත්වා-
බව රෑ කෙලෙස් සඳ
කිරණින් මුහුලු බඹ සඳ
පියුම් වන එම සඳ
දෙසුම් රිවි ගෙන් පුබුදුවා සොඳ
සංසාර නමැති රාත්‍රියේ කෙලෙස් නමැති සඳ රැසින් බඹුන්ගේ හැකුළුණු සිත් නමැති නෙළුම් වනය ඒ කාලයේ ධර්ම දේශනා නමැති හිරුගෙන් වහා පුබුදු කර-
කෙරෙන් ලොව මිනිසුන්
දක්වා නිවන් සුදසුන්
ඇති කර තුන් සසුන්
විසී අප මුනිඳු සඳ සුදසුන්
ලොව මිනිසුන් අතුරෙන් විශේෂ ජනයන් නිවන් දක්වා ත්‍රිවිධ සාසනය ඇති කොට සුදර්ශි වු අප මුනිරජ තෙම වාසය කළේ ය.
මෙ අප සුගතිඳු සඳ
පොබයා දනන් මන කොඳ
සඟ ගණ ගහන් මැද
වෙහෙර අබතුරෙහි බබළන සඳ
මේ අපගේ බුදු රජාණන් වහන්සේ නමැති චන්ද්‍රයා මිනිසුන්ගේ සිත නමැති කොඳ මල් පුබුදුවමින් විහාරය නමැති අහසේ සංඝ සමූහයා නමැති ග්‍රහයන් (තරු) මැද බබළන කල්හි-
ලෙසින් තම තම පණ
රක්නා බුදුන්ගේ බණ
පමණ නොකළැති ගුණ
ලොවට පින් කෙත් ව සිටි සඟ ගණ
තම තමාගේ ප්‍රාණය මෙන් බුදුන්ගේ ධර්මය ආරක්ෂා කරන ප්‍රමාණ කළ නොහැකි ගුණයෙන් යුත් ලෝකයාට සින් කෙත් ව සිටින්නා වු මහා සංඝ සමූහයා-
නිකුත් කෙසරුන්
දිනෙක සිත් සතොසින්
නික්ම තම තම වසන නිවෙසින්
දිනෙක රන් මිණි ගුහා තුළින් නික්මුණු සිංහයන් ලෙස සිත් සතුටින් යුතු ව තම තමන් වාසය කරන කුටිවලින් පිටත් වී-
රිවි රැස් සුබාවට
පැතිරෙන මිණි පබාවට
සක්දෙව් සබාවට
නිගා කළ ඒ දම් සබාවට
සූර්ය රශ්මියේ ආකාරයෙන් මැණික් එළිය අවට පැතිරෙන්නා වු ශක්‍ර දේවේන්ද්රයාගේ සභාවට (ශාලාවට) නිග්‍රහ කළ ඒ දම් සබාවට-