ගුත්තිල කාව්‍ය 3
 


 

තෝ තැනි වන මනා
දම් කිත් ලියට සොබනා
නොයෙක පුද රඳනා
පවර එවෙහෙරෙහි මන නඳනා

ධර්මය පිළිබඳ කීර්තිය නමැති වැලට යහපත් තෝතැනක්‌ (දිය රඳවන රවුම් අගලක්‌, ආලවාලයක්‌) වන්නා වු නොයෙක්‌ වීදියේ පූජා පවත්නා වූ සිත් සතුටු කර වන උතුම් වූ ඒ විහාරයේ.


(තෝ තැනි) - ගස්‌ වැල් වටා දිය යෙදූ විට ඒ රඳන සේ යෙදූ අගල)


හැර ලද මොක්‌ සැපත්
වඩමින් මහ කුළුණු සිත්
කෙරමියි ලොවට සෙත්
පිවිස සසරට නො වී බිය පත්


මහත් වු කරුණා සිත් වඩා ලෝ වැසියාට ශාන්තිය ලබා දෙමියි යන අදහසින් ලැබුණා වු නිවන් සැප අත්හැර බිය පත් නොවී සසරට වැද-


සූවිසි මුනි දවස
ලද විවරණින් නිසි ලෙස
පෙරුම් දම් සම තිස
පුරා සිව් අසෙකි කප් සුවහස


සූවිසි බුදුවරයන් වහන්සේලාගේ කාලයෙහි නිසි ලෙස ලැබුවා වු නියත විවරණ (කරණකොට) සාරාසංඛ්‍ය කල්ප ලක්‌ෂයක්‌ මුළුල්ලේ සමතිසක්‌ පාරමී ධර්ම සම්පූර්ණ කොට


වෙසතුරු ව දා සැපත
යදිනට පියඹ සිය සුත
දන් දීමෙන් මහත
ගුගුරුවා සත් යලක්‌ මිහි කත


වෙස්‌සන්තර රජු වී සම්පත් ද ප්‍රිය භාර්යාව ද සිය දරුවන් ද යන මහත් වු දන් යාචකයනට දීමෙන් පොළව නමැති කාන්තාව (මහ පොළොව) සත් වරක්‌ ගුගුරුවා.


සුරඟන ගත් සෙමෙර
දිදුලෙන් දිලෙන මනහර
සිරිබර තුසී පුර
ඉපි ද විඳ සුර ඉසුරු නොවිතර


සිත් ගන්නා දෙව් ලියන්ගේ අත්හි ඇති වල්විදුනාවල කාන්තියෙන් බබළන, සැපතින් බර තුසිත පුරයෙහි ඉපදී අප්‍රමාණ දිව්‍ය සම්පත් විඳ.


හිමි සඳ නුඹ විසින්
බුදුවන කලැයි වෙසෙසින්
බඹ පුර සෙන් ගොසින්
අයැදි සඳ බඳැදිලි ව සතොසින්


හිමි සඳුනි, මේ ඔබ වහන්සේ බුදු විය යුතු කාලය යැයි දෙවි බඹ සේනා විශේෂයෙන් ගොස්‌ සතුටින් ආරාධනා කළ කල්හි.


තෙදින් දිනිඳාණන්
සකකුල සිඳු සදාණන්
සිරින් සුරිඳාණන්
නිසා සුදොවුන් මහ රදාණන්


තෙදින් හිරු වැනි වු ශාක්‍ය කුලය නමැති මුහුදට සඳ වැනි වු සම්පත්තියෙන් ශක්‍රයා වැනි වු ශුද්ධෝදන මහ රජු නිසා.


 

තම තුනු රූ විලස
රසඳුන් කළ දනන් ඇස
පසිඳු තුන් ලෝ කුස
ඉපිද මායා බිසවගේ කුස

තම ශරීරයේ රූප විලාසය ජනයාගේ ඇස්‌වලට රසඳුනක්‌ (බවට පත්) කළ තුන් ලෝකයේ ප්‍රසිද්ධ මායා දේවියගේ කුසෙහි ඉපිදී.


සත් බුමු පියුම් පිට
සිට අභිරු සිහ නද කොට
පින් බල පෑ ලොවට
පැමිණ නර ලොවෙහි රජ සැපතට


සත් බුමු පියුම් පිට සිට අභීත සිංහනාද පවත්වා ලෝකයාට පින් බලය පෙන්වා මනුෂ්‍ය ලෝකයෙහි රජ සැපතට පැමිණ.

(c) Shilpa Sayura Foundation 2006-2017