ගුත්තිල කාව්‍ය 2
 


 

දුටු දුටු දනන් සිතු
තුටු කරන සව් සිරි යුතු
සමඟ මල් පොල් වතු
ගෙවල් කරවා දෙමින් සඟ සතු

දුටු දුටු ජනයාගේ සිත් සතුටු කරන සියලු සැපතින් යුක්‌ත වු මල් වතු පොල් වතු සහිත කොට නිවාස සඟ සතු කොට දෙමින්.


 

පිරිසිදු යස සදුන්
දිගැතුන් කුඹු අලෙව් දුන්
දුසිරි සිත නොම දුන්
සලාවත ජයපාල මැතිදුන්

දිශා නැමති ඇතුන්ගේ කුඹුවල නොකිලිටි කීර්තිය නම් වු සඳුන් තැවරූ (ලොව පුරා ප්‍රසිද්ධ වු) දුශ්චරිතයට සිත යෙදූ සලාවත ජයපාල මැතිතුමන්-


බැඳි කිවියර බසින්
මුනිඳු සිරිතක්‌ වෙසෙසින්
ඇසියටි අදහසින්
කෙළෙන් ආරාදනා සතොසින්


කව් බසින් (කවියෙන්) රචිත ජාතක කතාවක්‌ (බෝසත් චරිතයක්‌) විශේෂයෙන් අසනු කැමති ව සතුටු සිතින් යුතු ව ආරාධනා කළ නිසා.


දෙන සග සැප නැතක්‌
සිහි කළවුන්ට මොහොතක්‌
මොක්‌ පුර මහ වතක්‌
කියමි මුනි රජුගෙ පෙර සිරිතක්‌


ඉතා මඳ වේලාවක්‌ සිහි කළවුනට කෙළවරක්‌ නැති (නැති-අක්‌) අප්‍රමාණ දෙව් ලෝ සැපත දෙන, නිවන් පුරයට මහපාරක්‌ වු බුදුරදුන්ගේ පෙර සිරිතක්‌ හෙවත් ජාතක කතාවක්‌ කියමි.


පෙර මහ කිවි වරණ
පැවසු තිලෝ ගුරු බණ
මම මගෙ නැණ පමණ
කිමැයි වරදක්‌ වේ ද නිකරුණ


අතීතයෙහි උතුම් මහ වියතුන් කී බුදු ගුණ මම මගේ දැනුමේ ප්‍රමාණයට කීවෙමැයි කවර කරුණක්‌ නිසා (කෙසේ නම්) වරදක්‌ වේ ද ?


පරසතු මලින් පුද
ලද මුනි සඳුට දිය නඳ
වන පස මලින් පුද
කළැයි පවසනු කවර වරදද ද


පාරිජාත මලින් පුද ලැබුවා වු ලොවට සතුට ගෙන දෙන මුනිඳුන්ට කැලෑ මලින් පූජා කළේ යැයි කීමේ වරද කුමක්‌ ද ?


පරසතු - (පාරිජාත) දෙව්ලොව ඇති මල් විශේෂයකි.


ඉන් මුනිදු සිරිතින්
රැදි මබසමා සතකින්
නුවණැතියෙනි බැතින්
බි බී තුටු වව් සවන් දෝතින්


ඒ නිසා නුවණ ඇතියනි, බුද්ධ චරිතයෙන් යුක්‌ත වු මගේ වචන නමැති අමෘතය භක්‌තිමත් ව කන් නමැති දෝතින් ගෙන බොමින් නිඑන්තරයෙන් සතුටු වව්.


සරි කළැති සගනා
මිණි රැසිනි දිගතගහා
බබළන මහ ගහා
පවර නුවරෙක්‌ වී රජගහා


දෙව්ලොව හා සම කළ හැකි දිගාන්තය තෙක්‌ ගසා යන මාණික්‍ය රශ්මියෙන් බබළන (මහගහා) මහ මැදුරු ඇති රජගහ නම් වු උතුම් නගරයක්‌ විය.


මහගහා - (මහා ගෘහ) මහ මැදුරු


සව් සිරිනි සාරය
නිරිඳුගෙ බිම්බිසාරය
එ පුරෙහි උදාරය
වේළුවන නම් වී විහාරය


සියලු සැපතින් පිරුණා වු බිම්බිසාර රජුට අයත්, ශ්‍රේෂ්ඨ වූ එම නගරයෙහි වේළුවන නම් විහාරය විය.


 

(c) Shilpa Sayura Foundation 2006-2017