ගුත්තිල කාව්‍ය 1
 

සිය පින් සරින් සරු
දෙ තිස්‌ ලකුණින් විසිතුරු
කෙලෙසුන් කෙරෙන් දුරු
වඳිම් මුනි උතුමන් තිලෝගුරු


සිය ගණන් (බොහෝ) පුණ්‍ය ශ්‍රීයෙන් සාර වු දෙතිස්‌ මහා පුරුෂ ලක්‌ෂණයෙන් විසිතුරු වු, කෙලෙස්‌වලින් දුරු වු, තුන් ලොවට ගුරු වු මුනි උතුමන් වඳිමි.


සපුරා දස පෙරුම්
පළ කළ බුදු ව මනරම්
හරනා බව බිරම්
වඳිමි අදරින් අනගි සදහම්


දස පාරමිතාවන් සම්පූර්ණ කොට, බුදු වී ප්‍රකාශ කළා වු සිත් සතුටු කරවන්නා වු, සසර බිය දුරු කරන, අනගි වු, සද්ධර්මය ආදරයෙන් වඳිමි.


තමන් පද වන්දන
කළ පමණකින් නන්දන
නිවන් සැප වින්දන
වඳිමි මහ සඟන මුනි නන්දන


තමන් වහන්සේගේ පාද වැදීම් කළ පමණකින් බොහෝ දෙනා හට නිවන් සුවය විදුවන්නා වු බුද්ධ පුත්‍ර (නන්දන) මහා සංඝයා වඳිමි.


සුගත් මෙත් බෝසත්
විදුරත් තිනෙත් පියුමත්
ගහණත් තිනෙත් පුත්
මෙසත් සුර සත් ලොවට සෙත් දෙත්


මහාබ්‍රහ්මය, (සුගත්) මෛත්‍රී බෝසතුන්, ශක්‍රයා ය (විදුරත්) ඊශ්වරයා ය (තිනෙත්) හිරු දෙවියාය (පියුමත්) ගණදෙවිඳුය (ගහනත්) කඳකුමරුය (තිනෙත් පුත්) යන මේ දෙවියෝ සත්ව ලෝකයට සෙත සලසත් වා.


සුගත් -  බ්‍රහ්මයා
විදුරත් - (වජ්‍රහස්‌ථ) ශක්‍රයා - වජ්‍රය හෙවත් හෙණය අවිය කොට ඇත්තා
තිනෙත් - (තිනෙත්‍ර) ඊශ්වරයා - ඇස්‌ තුනක්‌ ඇත්තා.
පියුමත් - (පද්මහත්ථ) පියුමක්‌ අතේ ඇත්තා.
ගහණත් - (ගහණ) නැහැය (සොඬය) අත වූයේ යමකුට ද ඒ ගහණත් (ගණදෙවිදු) ය.
තිනෙත් පුත් - (ත්‍රිනෙත්‍ර පුත්‍ර) ඊශ්වර දෙවියාගේ පුතු යි. කඳ කුමරුයි.
!දත් - (දෙත්වා)


මුනි පද උතුමගේ
තෙවළා දහම් දිවගේ
ජය සිරි මඬලගේ
සැදූ පැරකුම්බා නිරිඳුනේ


බුදුරදුන්ගේ සිරි පතුල් හිස මුදුනේ ද තුන් පිටකය දිව අග ද, ජය ශ්‍රීය කඩුවේ ද යෙදූ පැරකුම්බා රජගේ.


උතුමගේ - (උත්තමාංගය) හිස
මඬලග - (මණ්‌ඩලාග්‍ර) කඩුව


මෙත් කුළුණෙන් දැවටි
යස පින් ගුණෙන් නොකිලිටි
හළ රුපු රුදු අරිටි
සියල් සිරිලක අගමැති ව සිටි


මෛත්‍රියෙන් ද කරුණාවෙන් ද (වෙළුණු) පිරි සිටි නොකෙලෙසුණු කීර්තියෙන් පිනෙන් හා ගුණයෙන් යුක්‌ත වු රුදුරු සතුරන් දුරු කළ මුළු සිරිලකට මහ ඇමති ව සිටි.


අරිටු - (අරිෂ්ට) නපුරු


අදිකරණෙහි පසිදු
රජ නීති දත් පිරිසිදු
හැම සිප් කළ පුරුදු
වෙළඳ කුලඹර පුන් සඳක්‌ බදු


නඩු විසදීමෙහි ප්‍රස්‌ද්ධ වූ, රාජ නීති හොදින් ම දත් සියලු ශිල්ප පුහුණු කළ වෙළඳ කුලය නම් වු අහසේ බබළන පුන් සඳක්‌ වැනි වු-


සිතුමිණ බදුරු කළ
කලබ තිළිණෙන් පසු කළ
පුරන දන මන දොළ
තමා සුරත ම සුරතුරක්‌ කළ


තෑගි දීමෙන් චිත්තා මාණික්‍යය, භද්‍රසටය හා වැනි වලාකුළු පරාජය කළ, මිනිසුන්ගේ සිතේ ආශාව ඉෂ්ට කරන්නා වු, තමාගේ දකුණු අත ම දිව්‍ය වෘක්‌ෂයක්‌ බවට පත් කළ.


සිතුමිණ - (චින්තා මාණික්‍යය) සිතු පැතු දේ දෙන, දෙව් ලොවේ ඇතැයි කියන මැණික.
බදුරු කළ - (භද්‍රඝට) සිතු පැතු දේ දෙන කළය.
කලබ - (කලාබු) කළු වලාව, වැහි වලාව
සුරතුර - දෙව් ලොවේ ඇති සිතු පැතු දේ දෙන ගස්‌වලින් එකකි.


විඳිමියි සඟ සැපත්
නොවෙමියි අවා බිය පත්
කෙරෙමියි මොක්‌ සැපත්
පතා ලිය වු දහම් පොත් පත්


දෙව් සැප විඳිමියි ද දපාය හයටත් පත් නොවෙමියි ද නිවන් සැප ලබා ගනිමියි ද ප්‍රාර්ථනා කොට දහම් පොත් ලියවු-

(c) Shilpa Sayura Foundation 2006-2017