අලුත් නුවර පෙරහැර
 
අලුත් නුවර දෙවොල හාස්‌කම් වලින් පිරී තිබූ ස්‌ථානයක්‌ බව කියැවේ. දේවතාබණ්‌ඩාර හෙවත් දැඩි මුණ්‌ඩ දෙවියන් වෙසෙන සමයෙහි කළ හාස්‌කම් නිසා අලුත් නුවර දෙවොල ඉතා ප්‍රසිද්ධය. දේවාල පෙරහැර ගමන් ගන්නා මාර්ගය හරහා තිබූ කළුගලක්‌ වෙහෙරවාසී නා හිමියන්ගේ කන්නලව්ව නිසා එක රැයකින් කපා දැමීම වැනි හාස්‌කම් නිසා අලුත් නුවර දෙවොල ඉතා ප්‍රසිද්ධියට පත්ව ඇත.

අලුත් නුවර දැඩි මුණ්‌ඩ දේවාලය ආරම්භ වී ඇත්තේ කුරුණෑගල රාජධානිය සමයේ සිව්වැනි පණ්‌ඩිත පරාක්‍රමබාහු රජුගේ කාලයේය. දළදා මාලිගාවේ පෙරහැර නිමාවූවායින් පසු ආරම්භ වන අලුත් නුවර වාර්ෂික ඇසළ උත්සවය සියලුම නර්තන අංශයන්ගෙන් සමන්විත දර්ශනීය. පෙරහැරකි.

මෙහි විශේෂත්වය වනුයේ පෙරහැර පවත්වන කාලය තුළ සතර කෝරළයේ සෑම ඇත්ගොව්වෙක්‌ම තමන් බලන අලි ඇතුන් අලුත් නුවර දේවාලය කරා ගෙන යෑමයි. එහිදී දැඩිමුණ්‌ඩ දෙවියන්ට නමස්‌කාර කිරීම විශේෂ දෙයකි. එසේ නොකොළොත්, හීලෑ අලියෙකු වුවද කලබල කරන බව ද ජනප්‍රවාදයේ අසන්නට ලැබේ.