රබන් නැටුම
 
රබාන යනු ජාවා නැමති රටේ උපන් වාද්‍ය භාණ්‌ඩයකි. අතීතයේ හෙළ රජවරුන් අතරත් ජාවා රටත් අතර තිබූ වෙලඳ සබඳතා හේතුවෙන් මෙම වාද්‍ය භාණ්‌ඩය ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වී ඇති බවට මතයකි. පැරණි ශ්‍රී ලාංකීය චිත්‍ර හා කැටයම් තුලද, රබන් වාදයන් ගේ රූප දක්‌නට ලැබේ. ඒ අනුව අතීතයේ සිටම අපරටේ රබාන භාවිතා වී ඇති බවට නිගමනය කල හැකිය. ශ්‍රී ලංකාවේ ජන නැටුම් අතර වාද්‍ය භාණ්‌ඩයක්‌ අතින් ගෙන කරනු ලබන නර්තනයකි රබන් නැටුම.

අප රටේ භාවිතා වන රබන් වර්ග කිහිපයකි. අත් රබාන , විරිදු රබාන, බංකු රබාන, කරකවන තැටි රබාන යනු ඒවාය.

අත් රබාන හා ඒ ආශ්‍රිත නැටුම්
අත් රබාන හා විරිදු රබාන එකකැයි සමහරක්‌ සැලකුවත් , එහි සැලකිය යුතු වෙනස්‌කම් දක්‌නට ලැබේ. ශ්‍රී ලාංකේය නර්තනය තුල වාද්‍ය භාණ්‌ඩ අතින් ගෙන කරන තවත් රංගනයන් වේ. උඩැක්‌කි නටුම, පන්තේරු නැටුම් මින් සමහරෙකි. නමුත් මේවා ගැමි ජන නැටුම් අතරට නොගැනෙන්නේ එම නැටුම් වලට ගුරුකුලයක්‌ හා සාම්ප්‍රදායික නර්තන කණ්‌ඩායම් වලින් හෙබි නැටුම් හෙයින් ඒවා ගැමි නැටුම් ගණයට නොගැනේ. නමුත් අත් රබාන වයමින් කෙරෙන නර්තනයට නිශ්චිත ගුරු කුලයක්‌ හෝ කණ්‌ඩායමක්‌ නොමැති හෙයින් මෙය පොදු ජන නැටුම් අතරට ගැනේ.

රබන් කරකැවීම



රබන් කරකවමින් කරන නර්තනය විටෙක විශ්මය ජනක නැටුමක්‌ වේ. මන්ද යත් එම නැටුම විශේෂිත ශිල්පීන් විසින් කරනු ලබන රංගනයකි. සමහර දක්‍ෂ ශිල්පීන් එකවැර රබන් නමයක්‌ හෝ දොලසක්‌ කරකවමින් රංගනයේ යෙදියි. මේ සඳහා භාවිතා කෙරෙන්නේ විශේෂිත රබානකි. කරකැවීමට යොදාගන්නා රබානේ හරි මැද මුද්ද නමින් හදුන්වන කුඩා සිදුරක්‌ වේ. මෙම රබන් කරකැවීමේ නර්තනය විශ්මයජනක මෙන්ම අති ආකර්ශවත් නර්තනයකි.

බංකු රබාන

බංකු රබානට ව්‍යවහරයේ පවතින තවත් නමකි මහ රබාන. සිංහල දමිල අලුත් අවුරුදු කාලයේ ගැමියන් අතර ප්‍රචලිත වාද්‍ය භාණ්‌ඩයකි මේ බංකු රබාන. විශේෂයෙන්ම පහටරට නැටුම් සම්ප්‍රදාය ආශ්‍රිතව බංකු රබන් ආශ්‍රිත නැටුම් බොහෝ සේ දක්‌නට ලැබේ. මෙහිදී කෙරෙන්නෙ, යම් රඳවනයක්‌ මත රබාන තාබා කණ්‌ඩායමක්‌ රබන් පද කියමින් රබාන වයයි. තවත් කණ්‌ඩායමක්‌ සරළ අංග චලන අනුව රබාන වටා නර්තනයේ යෙදෙමින් අතවැල් ගායනා කරමින් වාදකයන් සමග අත්මාරු වයමින් රංගනයේ යෙදෙයි. බංකු රබන් වැයීමට සෑදුනු රබන් පද රාශියක්‌ වේ. රබාන වයන්නන් කරන්නේ මෙම පද රබානෙන් වැයිමක්‌ මිස රංගනයට තාල තැබීමක්‌ නොවේ.

විරිදු රබාන
විරිදු රබාන නර්තනයක්‌ සඳහා යොදාගන්නා වාද්‍ය භාණ්‌ඩයක්‌ නොවේ. විරිදු යන කවි සම්ප්‍රදාය ගායනා කිරීමේදී වාදනය කරන වාද්‍ය භාණ්‌ඩයයි මෙම විරිදු රබාන.පංසලක පවතින සල්පිලක, තොරණක ආදී අවස්‌තාවල්දී මෙම රබාන වයමින් විරිදූ ගායන කරනු ඔබ වරක්‌ හෝ දැක ඇත.

රබන් නැටුම් සඳහා යොදාගත හැකි ගායනා

අතකට ගෙන රබන් පොඩිය ගසති දිසි රුවන්
ගතපිට බැඳ සොලවා සිලි සිලි නද කරමින්
සිතකට වත් නොගෙන නටති විදුලිය විලසින්
අහසට දමමින් අල්ලා රබාන දෑතින්

වරලස සිකි පිල් බිඳනා - ගවසා මල්පෙති වට
හැඩකාර සුදු සේලය - දමමින් රෙළි පොට
සොබමන් ලිය මන වඩනා - ලීල සබාව ට
රසකර කවි ගී පද ගායනා - වන රබාන ට

ත්‍රිවිධ ඥාන විදුරු - පඬි අපෙ මහ ගෞතම නම් මුනිඳු
මේ බුදු වුණු ගෞතම නම් මුනිඳු
එදා එ ඇතු විදිනට ආ වැදිහට
පුදා මෙ දළ දෙක දීලා දෝතට
එදා බුදු බව ලැබූ නාථ හට
පුදා වඳිමු අපි මල් ගෙන දෝතට
ත්‍රිවිධ ඥාන විදුරු - පඬි අපෙ මහ ගෞතම නම් මුනිඳු