චාමරය පවන් සැලීම හෙවත් සෙමෙර සැලීමට යොදා ගන්නා උපකරණයකි. අතින් මිටි කොට අල්ලා ගතහැකි රවුම් ලී දණ්‌ඩක එක් පැත්තක කෙදි සහිත රැලි අල්ලා තැනූ උපකරණයකි චාමරය. මෙම චාමර සෙලීමට දීර්ඝ ඉතිහාසයක් ඇත. බුදුන් වහංසේ සඳහා දෙවු බඹුන් පැමිණ චාමර සැලූ බවත්, වර්තමානයේ පෙරහැරේ දක්‌නට ලැබෙන දලදා කරඩුව වැඩම කිරීමෙදී කරඩුව දෙපස චාමර සැලීම බුදුන් වහංසේ කෙරෙහි භක්‌තිය සිහිපත් කරවන්නකි. රජ සිටුවරුන් හටද දෙපසින් සිට සේවිකාවන් පවන් සැලූහ. එබැවින් මෙම චාමර සැලීම රාජ සේවයක් වීය.
චාමර නැටුම අනෙකුත් ගැමි නැටුම් මෙන් ජීවන වෘත්තියක් අනුව බිහිවූ නැටුමක් නොව, එය රාජ්‍ය සේවයේ යෙදුනු චාමර ලියන් ගේ ක්‍රීයාවලිය අනුව සැකසුනු නැටුම් ක්‍රමයකි. එලෙසම චාමර නැටුම අනෙකුත් බොහෝ ගැමි නැටුම් මෙන් වේගවත් නැටුමක් නොව ඉතාම සෙමෙන් කෙරෙන අංග චලන විලම්බ ලය අනුව රග දක්‌වයි. මෙම නැටුම ලාස්‍ය රසයෙන් හෙබි නර්තනයක් වන හෙයින් මෙය රඟ දක්‌වනු ලබන්නේ ගැහැණු පාර්ශවයන් විසිනි. චාමර නැටුම සඳහා විශේෂිත වූ කාව්‍යන් ඇතත් බොහෝවිත ප්‍රශස්‌ති කාව්‍යන් යෝදා ගන්නා අවස්‌තා දක්‌නට ලැබේ.
චාමර කවි
සොබමන් දෙවිවරු සදෙනෙක් එතැනට
බසිමින් චාමර ගත්තේ සුරතට
ගනිමින් චාමර සැලුවේ මුනිදුට
අපි දැන් දක්‌වමු ඒ රඟ සබයට
සිසිවන සොබන දනන් මන මත් කොට
සුරඟන සදිසි ලියන් බැස මෙරඟට
සලමින රන් චාමර ගෙන දෑතට්
රඟදෙන අයුරු බලන් සකි සබපිට
කුසුම් රොනට බිගු රල එන සොබාවට
රජුන් වෙත සිටිති දිසිරන ලියෝවට
පවන් විදුලි සේ චාමර සලන විට
ඉඳුන් සදිසි විය මිහි සුර පුරෙන් බට
සොල්වා නිතඹ නෙතු අග ඉඟිකරන ලියෝ
අල්වා සුරල් පද මල් හී විදින ලියෝ
ලෙළවා දෙ අත් පොඩි චාමර සලන ලියෝ
මෙරමා වසඟ කොට රන්මසු දිනන ලියෝ
රත්තරනෙන් ලියවාගෙන දිග මැන සයගුල් වන තුරු
රත්තරනෙන් කැටයම් කර බඳවා මිණිකැට පියකරු
රත්තරනෙන් හුයක් සදා රිදී සෙමෙර බැඳ පිවිතුරු
රත්තරනෙන් සැදුනු ලියෝ සැලුවයි චාමර විසිතුරු