ගොයම් කැපීමේ නැටුම
 
ඈත අතීතයේ සිටම හෙළ ජනයාගේ ප්‍රධාන ජීවන උපාය මාර්ගය වූයේ වී ගොවිතැනයි. ඒ හේතුවෙන් ශ්‍රී ලාංකිකයාගේ සංස්‌කෘතිය සැදී ඇත්තේ එම වෘත්තීය අවශ්‍යතාවන්ට සරිලන පරිදිය. වී ගොවිතැන මත පදනම් වූ සංස්‌කෘතිය මත ගීත කලාවන් සාහිත්‍ය කලාවන් නර්තන කලාවන් බිහිවිය. ගොයම් කැපීමේ නැටුම නිර්මාණය වී ඇත්තේ ඒ අනුවය.

ගොයම් කැපීමේ කර්තව්‍යයේදී භාවිතා වන ක්‍රියාකාරකම් නිදහස්‌ ආරකට අනුව අංග චලන භාවිතයෙන් ඉදිරිපත් කිරීම ගොයම් කැපීමේ නැටුමයි. ගොයම් කැපීමේ නැටුමට අදාලව කවි පන්තිද බිහි වී ඇත. එම කවි පන්ති සාමුහිකව ගායනය කරමින් , නිශ්චිත වාද්‍ය භාණ්‌ඩයක්‌ නැතත්, සුදුසු වාදනයක්‌ යොදා ගනිමින් මෙම නර්තනය රඟ දක්‌වයි.