ගැමි නැටුම්
 


සමූහයක්‌ එක්‌ව පෙලට සැදී හෝ රටාවකට අනුව සරල කවි ගායනා කරමින්, ලී දඩු,කළගෙඩි, කුළු, දෑකැති වැනි උපකරණයක්‌ අතින් රැගන කරන රංගනයක්‌ ගැමි නැටුමක්‌ නොඑසේනම් ජන නැටුමක්‌ ලෙස හැදින් වේ. ගමේ පෙරහැරක්‌ පිංකමක්‌ අවුරුදු උත්සවක්‌ හෝ මොනයම් හෝ සංස්‌කෘතික උත්සව අවස්‌තාවකදී මෙවන් නැටුම් වර්ග දැකිය හැකිය.
කෘෂි කර්මාන්තය ප්‍රධාන ජීවන උපාය කරගත් හෙළ ගැමියා, තමන් ඒ කර්මාන්තයේ යෙදෙන කල ලැබෙන සුලු නිමේශයකදී තම විනෝදාස්‌වදය සඳහා ගී ගායනය රංගනය හා නර්තන අංග ඉදිරිපත් කිරීම පුරුද්දක්‌ කොට ගත්හ. බොහෝ ගැමි නැටුම් හා ජන ගී ගායනා ඒ ඒ වෘත්තීන් අනුව ගොඩ නැගුනු ඒවාය.

පැල් කවි, ගොයම් කැපීමේ කවි, නෙලුම් කවි, පන් නෙලුම් කවි පාරු කවි ආදිය ජීවන වෘත්තීන් අනුව නිර්මාණය වූ ගැමි නර්තන අංගය. සවරන්, චාමර නැටුම් ද රාජ සේවය වෘත්තිය අශ්‍රිතව බිහිවී ඇති බවට නිගමය කල හැකිය.

ජීවන වෘත්තීන් වලට අමතරව ගැමියන් අතර ප්‍රචලිත විවිධ සංස්‌කෘතික ජන සෙල්ලම් ආශ්‍රිතවද නැටුම් ගැයුම් වැයුම් නිර්මාණය වී ඇත. ඔළීද කෙලිය, පංච කෙලිය, මේවර කෙලිය, එලුවන් කැම, ඔංචිලි වාරම් ආදිය එවැනි ගැමි සෙල්ලම් ඇසුරින් නිර්මාණය වු ගැමි නැටුම් වේ.

ගැමි නැටුම් අතර විවිධ ගැමි නාට්‍යද වේ. සොකරි, කෝලම් රූකඩ නැටුම් ආදිය ගැමි නාට්‍ය අංග ලෙස ගැනේ. පැරණි යුද්ධ සටන් ක්‍රම අනුකූලව බිහිවූ ගැමි නර්තන අංගයන්ද මේ අතර වේ. ලී කෙලිය, කඩු සරඹ, පතුරු නැටුම් මේවාට උදාහරණ ලෙස දැක්‌විය හැකිය.

ගැමි නැටුම් තුල සංස්‌කෘතික පදනමක්‌ මෙන්ම ආගමික පසුබිමක්‌ ද පදනම් වී ඇත. බුදුන්, දෙවියන් ගෙන් අවසර ගන්නා අවස්‌තා මේ ගැමි නැටුම් ආශ්‍රිතව දක්‌නට ලැබේ.

මේ ගැමි නැටුම් වූ කලී, ළමා ලපටි, තරුණ, වැඩිහිටි හැමට එකසේ නරඹා අසා සතුටු විය හැකි අංගයන් සේම ඒ සැමට එක්‌ව නර්තනයේ ගායනයේ හෝ වාදනයේ යෙදිය හැකි සංස්‌කෘතික නැටුම් විශේෂයකි.
ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම සහභාගි විය හැකි නර්තන ගායන වාදනයන් ය. සරල ගායනයකට අනුව කෙරෙන මේ නර්තනයන් සරල අංග චලන වලින් සමංවිත වන හෙයින් කොයි කාටත් නර්තනයට දායක වීමේ හැකියාව ලැබේ. නර්තනයට උචිත වාද්‍ය භාණ්‌ඩයක්‌ වයමින් කෙරෙන රංගනය සරළ ඇදුමින් සැරසී ඉදිරිපත් කරයි. මුලුමුනින්ම රසාස්‌වාදය උදෙසා කෙරෙන මේ නැටුම් ගැයුම් වැයුම් සැම රටකම ඒ ඒ සංස්‌කෘතීන්ට අනූකූලව බිහිවී අද දක්‌වාම පැවතගෙන එයි.
(c) Shilpa Sayura Foundation 2006-2017