සිරස පාද කවි
 
ශාන්ති කර්ම පවත්වන්නේ යම් ආතුරයෙක්‌ ගේ හෝ කිහිප දෙනෙක්‌ සඳහා ඔවුංගේ අපල උපද්‍රව කොඩිවින දුරු කර ශාන්තියක්‌ ලබා ගැනීම උදෙසාය. සිරස පාද කවි ගායනා කරනුයේ එම ආතුරයන් ගේ හිස සිට දෙපතුල තෙක්‌ මුලු සරුවාංගයේ ම සියළු දෝශ සමනය කිරීම උදෙසාය.
උඩරට, පහතරට , සබරගමු සියළු සම්ප්‍රදායන් වල පවතින ශාන්තිකර්ම වල සිරස පාද කවි ගායනා සිදු කරයි. හිස සිට දෙපතුල දක්‌වා ඇති සියළු ශරීර කොටස්‌ එකින් එක විස්‌තර කරමින් ඒවාට වැලදී ඇති රෝග නිවාරණය වන ලෙස ආශිර්වාද කරන කවි පන්ති විශේෂයකි. මෙම සිරස පාද ගායනා විවිධ නම් වලින් හදුන්වයි. මේ ඒවායින් කිහිපයකි.

1. ඒකාක්‍ෂර සිරසපාද කවි
කවියේ පද වල මුල අකුරත් අග අකුරත් එක සමාන අකුරක්‌ වන ලෙස ඇති සිරස පාද කවි ඒකාක්‍ෂර සිරිස පාද කවි වේ.

නරමරඟන නරු ඇඳගෙන නටති එතැන නළුනාටක වෙස්‌ගෙන
නතර නොවෙන නද කරවන නපුරු සිතන නස මැයි නිති සිතමින
නපුරු දුජන නම කුරුගෙන නව නැකතින නපුරට කළ මේ වින
නවමුණි ගුණ නළල එතැන නළලේ තිබුණ දෝස නහිනහි දුරලන

2. සත්දින සිරස පාද කවි
සතියේ දින හත මුල් කරගෙන රචනා කරන ලද කවි සත්දින සිරස පාද කවිවේ. දින හත ගැන කියැවෙන කවි හතක්‌ මේ කවි පන්තියට අයත් ය.

රතේ ගෙනියන ලෙසට නැව මහ මුහුද මැදපැන ගෙන යතේ
යතේ සුලඟට බිඳිලා නැව පොඩිව ගියකල දස අතේ
සිතේ ඇතුවම දිවි නසින තෙක්‌ මවත් අරගෙන පිහිනතේ
සිතේ වීරිය පෙරුම් බලයෙන් ඉසේ දෝස ඉරිදා නැතේ

3. දොළොස්‌ මස්‌ සිරස පාද කවි.
සිංහල මාස ක්‍රමයට අනුව එක්‌ එක්‌ මාසය සඳහා එම මාසයේ නමින් ලියැවුනු කවි පන්ති දොළොස්‌මස්‌ සිරස පාද කවි වේ.

බක්‌මස විස්‌වෙස රන් හුය දරමින
වික්‌මැති සුරතින් දීපය ගනිමින
එක්‌කොට නවමල් නවකොළ පුදමින
සෙත් දී බක්‌මස හිස දොස හළමින

4. බුදුගුණ සිරස පාද කවි.
බුදුන් වහංසේගේ නව අරහදී ගුණය සිහිකොට එහි බලයෙන් දෝස දුරුවන ලෙස සෙත් පතමින් ගායනා කරන කවි මේ නමින් හැදින්වේ.

එල්ල බලා බුදුවන්නට විදුරාසන වැඩ හිඳිනට
ගොල්ල මාර සෙනග ඇවිත් පැනපි නොදී බුදුවන්නට
කල්ල කමට සිටි මරඟන බිඳපු රුපුන් බිඳ ජයකොට
බෙල්ල දෙවුර දෑතේ දසැගිල්ලේ දෝස යාය නොසිට


5. අටකුරු සිරස පාද කවි
මෙම සිරස පාද කවි වල ඇති විශේෂත්වය නම් කවියේ එක්‌පදයක්‌ තුල එකම අකුර අට වතාවක්‌ යෙදීමයි.

කඳු රැළියක කළ විපතෙක කරුණු හිතෙක කළ වීරිය බලයෙක
කරුණා දැක කළල් මඩෙක කදිම රුවක කරමින් නොවිමන් සැක
කතර කපෙක කලි යුගයක කරමි නොසැක කරුණාවෙන් සතරැක
කරට යමෙක කළ විනයක කපමි සැනෙක කටු බන්ධන දෝසමක
ඉහත කවියේ 'ක' අකුර සෑම පදයකම අට වතාවක්‌ යෙදී හැටි බලන්න.
(c) Shilpa Sayura Foundation 2006-2017