අවකාශය හා සම්බන්ධතා..
 

පුද්ගල අවකාශය තුල අප සම්බන්ධකම් පවත්වන්නේ අපේ ශරීරය විහිදී යන සීමව තුලය. එම නිසා අපේ සම්බන්ධතාවය ශරීරාංග වලට පමණක්‌ සීමාවේ. අත් පා විහිදීම, උඩ පැනීම, ඉඳගැනීම, ශරීරය විහිදුවීම හැකිලීම ආදී විවිධ චලනයන් අපි අපේ ශරිරික අංග සමග සම්බන්ධවෙමින් නිදහස්‌ ව හා ස්‌වාධීනව කරන්නෙමු. නමුදු සමූහයක්‌ එකතු වී කරන රංගන අවස්‌තාවකදී සම්බන්ධතා පවත්වා ගැනීම දුශ්කර මෙන්ම මනා අවබෝධයකින් ක්‍රියා කල යුතුය.
 
 සම දුර තබා ගැනීම , පේලී සකස්‌කර ගැනීම, රවුමට සිටීම , එකම පරිමාවක පවතින සේ කටයුතු කිරීම , අන් අයෙකුගේ අවකාශය අත්පත් කර නොගැනීම ආදිය සමූහ නැටුමකදී අවකාශ භාවිතයේදි සැලකිලිමත් විය යුතු කරුණු අතර වේ. මෙවැනි අවස්‌තාවල පොදු සම්බන්ධතා ගොඩනගා ගැනීම පුද්ගල අවකාශයේදී පවතින සම්බන්ධතාවයන්ට වඩා දුශ්කර කර්තව්‍යයකි. මෙහිදි දුර්වල සම්බන්ධතා හේතුවෙන් නර්තනයේ විචිත්‍රවත් බවට හානි සිදුවේ.
 
 බොහෝ විට මෙසේ සම්බන්ධතා බිදී යන්නේ ඉතා කුඩා අවකාශයක නර්තනයේ යෙදීමේදිය. විශාල අවකාශයක්‌ හිමි උවද එය මනා අවබෝධයකින් තොරව භාවිතා කිරීමෙන් ද මේ සම්බන්ධතා බිඳී යා හැකිය. මන්ද යත් අවකාශය අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් භාවිතා කිරීම හේතුවෙනි. ඒ අනුව අවකාශය භාවිතයේදී කුඩා ඉඩකදී හෝ විශාල ඉඩකදී උවද මනා අවබෝධයකින් එකිනෙකා අතර සම්බන්ධතාවය පවත්වා ගැනීම වැදගත් ය.

(c) Shilpa Sayura Foundation 2006-2017