පුද්ගල අවකාශය
 
අවකාසය යනු අප අවට ඇති ඉඩ ප්‍රමාණය බව ඔබ අවකාශ භාවිතය පාඩමේදී විස්‌තර කෙරිණි. අප අවට කොතරම් ඉඩ ප්‍රමාණයක්‌ තිබුණද, එක්‌ අවස්‌තාවකදී අපට භාවිතා කිරීමට ලැබෙන ඉඩකඩ ප්‍රමාණය සීමිත වේ. නර්තනයේ යෙදෙන ශිල්පීන් ගේ ශරීර ප්‍රමාණය අනුව මේ ඉඩකඩ එකිනෙකට වෙනස්‌ වේ. පුද්ගල අවකාශය හදුනාගැනීම සඳහා පහත කෙටි ක්‍රියාකාරකම උපයෝගී කරගනිමු.
 
 ඔබේ නැටුම් කාමරයේ හෝ වේදිකාවේ හෝ ඔබ අවට පරිසරයේ යම් තැනක සිට ගන්න. දැන් ඔබේ දෙඅත් හැකිතාක්‌ දෙපසට විහිදුවන්න. දැන් එක තැනම සිට ගනිමින් වටයක්‌ කැරකෙන්න. එසේ කැරකීමේදී ඔබේ ශරීරය කිසියම් ඉඩ ප්‍රමාණයක්‌ අත්පත් කරගනී.
එය සිලින්ඩරාකාර හැඩයක්‌ ගනී. එම ඉඩ ප්‍රමාණය එක්‌ වරකදී එක්‌ පුද්ගලයෙකුට අත්පත් කරගත හැකි උපරිම ඉඩ ප්‍රමාණය වේ. අපි කිනම් ස්‌ථානයක සිටියත් අපට අත්පත් කරගැති උපරිම ඉඩ ප්‍රමාණය එම සිලින්ඩරාකාර ඉඩ ප්‍රමාණයයි.
 
 දැන් ඔබේ ශරීරය ඔබට හැකි පමණින් හකුලුවා ගන්න. දැන් ඔබට අත්පත් වන ඉඩ ප්‍රමාණය ඔබ ලබාගන්නා අවම ඉඩ ප්‍රමාණයයි. ඒ අනුව අප නර්තනයේ යෙදෙන විට අපට භාවිතා කලහැකි උපරිම හා අවම ඉඩ ප්‍රමාණය ඉහත සඳහන් කළ අවස්‌තාවන් ය. අප විසින් කරන සියලු අංග චලන ඉහත සඳහන් උපරිම හා අවම අවකාශය ඇතුලත සිදුවේ.
 

ඔබේ දැත් දිගු කරමින් ශරීරය හකුලුවමින් ඔබේ අවකාශයේ ඔබමොබ ඇවිදින්න, උඩ පනින්න, කැරකෙන්න. මේ කවර ක්‍රීයාකාරකම කලත් ඔබට උපරිම පුද්ගල අවකාශය පරයා වැඩි ඉඩ ප්‍රමාණයක්‌ අත් පත් නොවෙනු ඇත. මෙහිදී සිදුවන්නේ ඔබට හිමි පුද්ගල අවකාශය ඔබත් සමග විවිධ ස්‌ථාන කරා ගමන් කිරීමයි.
 
මේ අනුව පුද්ගල අවකාශය යනු...

කිසියම් අවස්‌තාවක යම්කිසි පුද්ගලයෙකු විසින් අත්පත් කරගනු ලබන අවකාශ ප්‍රමාණය ලෙස දැක්‌විය හැකිය.
(c) Shilpa Sayura Foundation 2006-2017