හැදින්වීම
 
අවකාශය යනු අප අවට පරිසරයේ අපට හැසිරීමට ඇති ඉඩකඩ ප්‍රමාණයටයි. නර්තන ශිල්පියකු හැටියට තමාට රඟ දැක්‌වීමට ලැබෙන අවකාශයෙන් උපරිම ප්‍රයෝජන ගත යුතු මෙන්ම , එම අවකාශය ඵලදායි ලෙස ක්‍රමානුකූලව ප්‍රයෝජනයට ගන්නේ කෙසේද යන්න ඔබ අවබෝධ කර ගත යුතුය.
 
 " කිසියම් පුද්ගලයකු කේන්ද්‍ර කොට ගෙන නිදහස්‌ව හැසිරීමට ඔහු වටා ඇති ඉඩකඩ ප්‍රමාණය අවකාශය ලෙස හැදින්වේ ."
 

 ඔබ දැක ඇති යම් වේදිකා නර්තනයක සමහර ශිල්පීන් වේදිකාවේ රිසි සේ ඉඩ තිබියදීත් එක්‌ තැනකට වී නර්තනය ඉදිරිපත් කරනු ඔබ දැක ඇත. සාමූහික රංගනයක දී රංගන අවකාශය තුල නොඑසේනම් වේදිකාව තුල කොපමණ ඉඩ තිබුණත් එකිනෙකා හැප්පෙමින්, ගැටෙමින් කරන නැටුම් අවස්‌තා ඔබ දැක ඇත. අවකාශය නිසි ලෙස භාවිතා නොවීම ඉහත උදාහරණ වලට හේතුවයි. තමා සතු අවකාශය නිසි ලෙස භාවිතා නොකරමින් කොයිතරම් හොදින් රංගනයේ යෙදුනද නර්තනය අලංකාරවත් නොවේ.
 
 අප නර්තනයේ යෙදෙන ස්‌ථාන අනුව සලකා බැලීමේදී, නැටුම් පන්ති කාමරය, පාසලේ වේදිකාව හෝ පිට්‌ටනිය යන ස්‌ථාන සලකා බැලූ විට අපට ලැබෙන ඉඩකඩ නොහොත් අවකාශ පරාසයන් එකිනෙකට වෙනස්‌ ය. එලෙසම රංගනයේ යෙදෙන ශිල්පීන් ප්‍රමාණය අනුවද එකම ස්‌ථානයක වුවද අපට හැසිරීමට ලැබෙන ඉඩකඩ ප්‍රමාණය වෙනස්‌ වේ. උදාහරණයක්‌ වශයෙන් පාසලේ වේදිකාවේ සමූහ නැටුමක්‌ ඉදිරිපත් කිරීමේදී ශිල්පීන්ට හැසිරීමට ඇති ඉඩකඩ ප්‍රමාණයට වඩා එම වේදිකාවේම ඒකල නර්තන අංගයක්‌ ඉදිරිපත් කරන්නෙකුට ලැබෙන ඉඩ ප්‍රමාණය වැඩිය.
 
 මේ අනුව රංගනය සඳහා අවකාශය භාවිතා කිරීම යනු,
 
 *. අපට ලැබෙන ඉඩ ප්‍රමාණය හොදින් හදුනාගැනීම,
 *. නර්තනයට අවශ්‍ය පරිදි එම ඉඩ ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම,
 *. නර්තනය අලංකාරවත් වන අයුරින් හැඩතල හා රටා මවමින් අවකාශය ක්‍රමවත්ව භාවිතා කිරීම

   ආදියයි.

(c) Shilpa Sayura Foundation 2006-2017