ධාතු විස්‌තරය 3
 

සුමේද නම් තාපස වී මුනි ඉපි ද
හිමේ වැදී සිල් රැක්‌කා නොදනී ද
එයින් පසුව බුදුවී අපෙ මුනිදු ස ඳ
එවන් සිරි පතුල පිහිටියේ කොතනක ද

ලොව්තුරු මුනිදු වැඩ ඉඳ බෝමු ලේයා
මත්කරවා එන මරසෙන් රැ ලේයා
සුන් කරමින් දස පෙරුමන් බ ලේයා
එවන් පතුල තැබු සමනල ග ලේයා

නයි දබරෙට වැඩියේ අප මුනිදු ස දා
නයි සාමි පිදුවේ මිනිපළග එ දා
දෙවියෝ ඇවිත් වට රැකවල් මුරට ස දා
එවෙනි මිණි පළග පිහිටියෙ කොතනේ දා

මෙන්න කියන සැටි වාදෙට ඇසූ තැ නේ
ඇන්න බලාපන් දහමේ යසට පෙ නේ
දන්න දෙයක්‌ නැතුවායිනි නොතේරු නේ
ඔන්න මිණි පලග මණිනාග දිවයි නේ

පින් බලයෙන් ලොවුතුරු මුනිදු බුදු උ නේ
ඉන් මරු ඇවිත් ඉල්ලුවෙ ආයුස දා නේ
පන් සාලිස්‌ කල් වැඩ ඉන්නට ලැබු නේ
එවන් අකු ධාතු පිහිටපු තැන කොත නේ

අප මුනිදුන් වැඩ ඉඳ දෙව්රම් විම නේ
සන්සුන් ගමනින් නාලොව වැඩි ගම නේ
නන්දාපනත් නාරජ කෙරුවයි දම නේ
එවන් අකු ධාතු ඇත පුරදුරු බව නේ

දුන්න අමා සැප තිලොවට කැමැ ත්තේ
ගන්න සරණ තිසරණ මිසක නැ ත්තේ
වෙන්න අදිස්‌ටානේ ලෙස පැවැ ත්තේ
බින්න ධාතු කී කොටසක්‌ ද ඇ ත්තේ

දන්න දෙයක්‌ දහමෙන් කීවොත් මොක ද
යන්න සුරපුරට හිනිපෙති පෙළක්‌ ව ද
මෙන්න සොයා දහමෙන් දැනගන්ට ප ද
බින්න උනු ධාතු තුන් කොටසක්‌ නොවෙ ද

පින් මිස සසර ගැලවීමට මොනවා ද
දුන් අවවාද තිලොවට අපෙ මුනිදු ස ඳ
පන් දහසක්‌ පවතින සාසනේ සො ඳ
තුන් කොටසේ ධාතුවල තරම කොහොම ද

මුන් පියලි තරමට කොටසක්‌ පැව තී
ඉන් මද්දිම තරම කඬසාල පමණැ තී
අන්තිම කොටස අබ ඇට තරමටම ඇ තී
තුන් කොටසේ ධාතු දැන් මේ ලෙස පව තී

(c) Shilpa Sayura Foundation 2006-2017