හොඳ වාක්‍ය නිර්මාණයට උපදෙස් 1
 

වාක්‍යය සම්පූර්ණ වී තිබීම.
වාක්‍යය අදහසක්‌ පුන පුනා නොකීම.

උදාහරණය :
ලංකාවේ නැගෙනහිරටත් දකුණටත් අතර තිබෙන ගිණිකොන දිග කඳුවැටිය පාංශු ඛාදනය නිසා නාය යාමෙන් මහත් ව්‍යසනයකට මුහුණ දීමට සිදුවන බව අනාවරණය වී ඇත.

මෙය පහසුවෙන් සංශිප්ත කර මෙලෙස ලිවිය හැක.


ලංකාවේ ගිණිකොන දිග කඳුවැටියේ පාංශු ඛාදනය මහත් ව්‍යසනයකට හේතු විය හැකිය.

වාක්‍ය ව්‍යාකූල නොවීම :
සුදු පැහැය ඇඳ තැන් තැන් වල වැටුණු සැදැහැවත්තු බණ ඇසූහ.
සැදැහැවත්තු සුදු පැහැය ඇඳ තැන් තැන් වල වැටී බණ ඇසූහ.
මෙය නැවත ලිවීමෙන් ව්‍යාකූලතා ඉවත් කළ හැක.
සුදු පැහැය ඇඳි සැදැහැවත්තු තැන් තැන් වල වැටී බණ ඇසූහ.

එක්‌ අදහසක්‌ එක වාක්‍යකට ගොනු කිරීම අගනේ ය.
වාක්‍යය දීර්ඝ වන විට අදහස අවුල් විය හැකිය.
කෙටි වැකි ලියන්න.

වචන වල අරුත ගැන සැක ඇති නොකිරීම

කියවන්නා තුල වාක්‍යයේ හා වචන වල අරුත ගැන සැක ඇති නොවන සේ අරුත් අවධාරණය කළ යුතුය.

සමතුලිත වාක්‍ය ලිවීම.
එකම අදහසක්‌ පළ කිරීමේදී විවිධාකාර වාක්‍යාංග භාවිතය වෙනුවට සමතුලිත වාක්‍ය ලිවීම යෝග්‍යය.

උදාහරණ :
මගේ උපන් දිනයේදී තෑගි වශයෙන් අම්මා ගවුමක්‌ දුන්නාය. තාත්තා මට පොතක්‌ දුන්නේය. අක්‌කා විසින් ජපන් බොනික්‌කෙක්‌ දෙන ලදි.

නැවත සකස්‌ කිරීමෙන් පසුව

මගේ උපන් දිනයෙදී අම්මාගෙන් ගවුමක්‌ද තාත්තාගෙන් පොතක්‌ද අක්‌කාගෙන් ජපන් බොනික්‌කෙක්‌ද තැගි ලෙස මට ලැබිණි.

 

වාක්‍ය පූර්ණත්වය :

වාක්‍ය පූර්ණත්වය සඳහා පද සමතුලිතතාවය ද, උක්‌ත ආඛ්‍යාත සම්බන්ධය නිසි ලෙස පවත්වා ගැනීම කළ යුතුය.


වාක්‍යංශ සම්බන්ධකර දීර්ඝ වාක්‍ය ලිව්මේදී ප්‍රධාන වාක්‍යංශයට අනෙකුත් වාක්‍ය හා අංග නිසිලෙස සම්බන්ධ කිරීම වාක්‍යයේ සමතුලිත භාවය රැක ගැනීමට උපකාරී වේ.

 

ඡේද හා වාක්‍ය එකම වචනයකින් ආරම්භ කිරීම නීරසය ගෙන දේ.


සෑම වැකියක්‌ම ආක්‍යාතයකින් කෙළවර වනසේ කෙටි හෝ සංයෝජිත වාක්‍ය ලිවීම සුදුසුය.

 

විවිධත්වය සඳහා උක්‌ත, අනුක්‌ත, වාක්‍ය සංයෝජන ශෛලින් මුස කරන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017