දෙපා කකුල් අත් වෙන්කර සොදිනේ
කපා කුමරු මස් රසකර බොජුනේ
අපා නොදැක ගත්තයි තුන් සරනේ
ලත් පඬි මෙතෙකැයි දින දින රැගෙනේ
නෙත් නැති මව් පිය දෙදෙනා රකිනේ
ගුත්තිල පඬි හට වරලත් ලෙසිනේ
තත් බිඳ බිඳ නද කළ තුන් සරනේ
වෙසතුරු රජ තපසට වැඩි ගමනේ
රසතුරු පලවැල යාදී එතනේ
විසිතුරු කුමරුන් දන්දී එවනේ
පසතුරු කර ගත්තේ තුන් සරනේ
මෙතනේ උන් මගෙ කුමරුන් දෙන්නේ
කොතනේ කොයි ගියදෝ මට නොදැනේ
දෙතනේ කිරි වැසී හිමි සඳිනේ
මෙතෙක් සිට දෙනවට තුන් සරනේ
වටුවෙක් බිජු රැක දරු සෙනෙහසිනේ
කෙටු එක් සේනක් වල් ගිනි වැදුනේ
දුටු සක්‌රජ ඒ දුක් ගිනි නිවුනේ
අටුවක් කුසලකි බණ තුන් සරනේකාලෙට බිජු ඉසිනා බිම එතනේ
ගාලෙට මදකුත් ඒ ගිනි නිවුනේ
යාලෙට වැඩිවද දස වන අමුනේ
කාලෙට සිහිවෙන්නේ තුන් සරනේ
සීග්‍ර පවන් සිරිමා බෝ රජුනේ
නග්‍ර රුවින් දළු ලියලයි මුදුනේ
වග්‍ර කඳන් තුන් කොනකට නැමුනේ
අග්‍ර උතුම් බණවද තුන් සරනේ
විල වද්දන්තය ඒ ඇතු සිටින්නේ
දළ පිට සිට කළ හොත් ඉස්‌නානේ
දොල සංසිදු වෙයි කී කළ එදිනේ
බල ගතු කුසලකි බණ තුන් සරනේ
කෙළ කෙළ අත් රජ සිටිනා සෙවනේ
වළ කපමින් සිට වැදි පුත් එතනේ
නිළ සොයමින් විදි සැරයක් වැදුනේ
දල දෙක දන්දී ගත් තුන් සරනේ
කොඩියක මුදුනතට ආ බව ඇඳිනේ
හැඩිය සිතින් කුමරුගෙ මස් දෙමිනේ
මඬියයි මඟවුන් රතයට නැඟුනේ
වැඩියයි සක්‌රජ දී තුන් සරනේ
