තුන්සරණය 4
 


 

රසයට මී බිඳු මිස වෙන කොයිනේ
දසයට අඩු දෙය නව ගුණ වරුනේ
කුසයට නම් ගත යුතු අහරට බොජුනේ
විසයට මන්තරයකි තුන් සරනේ

බිහිවුන විට සිදුහත් කුමරිඳුනේ
මිහිපිට සත් පියුමක්‌ පැන නැගුනේ
විහිදෙන මල් සුවඳක්‌ යන ලෙසිනේ
වැහි මේඝයටත් වැඩි තුන් සරනේ

බුදු ගුණයක්‌ වැටුනොත් මගෙ සවනේ
සිඳු පිට නැව් බඩු පාවෙන ලෙසිනේ
විදු රට ලංවනු මිනි මුතු බැතිනේ
අඳුරට පානකි බණ තුන් සරනේ

දහමට ගණිතොත් බුද්දන් සරනේ
මහනට සිවුරක්‌ ඇඳ වර බඳනේ
යහනට වට තිර ඇද උඩු වියනේ
අහසට ඉර හඳ මෙනි තුන් සරනේ

සත්තක ඇතිවද මුනි ගුණ වරුනේ
පෙත්තක බුදුරුව දුටු කල නෙතිනේ
වත්තක මල් පිදුවත් මදි එතනේ
නෙත්දෙක වද සතහට තුන් සරනේ

සම්මා සම්බුදු වෙන මුනි රජුනේ
දම්මා දස අකුසල් අත මිදුනේ
නම්මා ගෙන සිත දහමට යෙදුනේ
අම්මා වැනි කුසලට තුන් සරනේ

බුදුන් දකිමි එන මෙත් මුනි රජුනේ
යොදුන් පමණ විට පිරිවර සැදුනේ
පැදුන් රතේ වද නිවනට සරනේ
සඳුන් රුකකි සැමටම තුන් සරනේ

මේ රට සතහට ගෞතම සරනේ
පාරට බත් බැඳ ගියහොත් ගමනේ
පීරට ගත්තා වැනි තද වානේ
වෙහෙරට රන් කොත වැනි තුන් සරනේ

බොහොමේ ඇසුවොත් මුණි ගුණ වරුනේ
අහසේ තරු මදි බැලුවොත් ගනනේ
දහමේ වත ගොත අයකට නොදැනේ
මහ මූදට වැඩිවද තුන් සරනේ

ගත පිට පිරිමැද ගැල්වූ සඳිනේ
සතහට අම්මා වද කිරි දෙතනේ
සිත යට විපරමි කුසලට යෙදුනේ
සතහට උල්පත වැනි තුන් සරනේ

(c) Shilpa Sayura Foundation 2006-2017