පාර්ලිමේන්තුවේ වාර්තා පොත – හැන්සාඩ් 2
 

ප්‍රවෘත්ති වාර්තා කරුවන්ගේ රහසිගත වැඩ පිළිවෙළ නිසා බෙහෙවින් කෝපයට පත් පාර්ලිමේන්තු ආරක්‌ෂක නිලධරයෝ, මහජන ගැලරියට රිංගාගෙන හොරෙන් වාර්තා ලියන්නන් අල්ලා ගැනීම සඳහා විශේෂ උනන්දුවක්‌ දක්‌වන්නට පටන් ගත්හ.

වාර්තා ලියන්නකු දක්‌නට ලැබුණ ද වෙනදා එය නොදුටුවන්ව ගිය ආරක්‌ෂක නිලධරයෝ ඇතිවුණු අලුත් තත්ත්වය යටතේ වාර්තාකරුවනට කිසිදු බුරුලක්‌ නොදෙන්නට තීරණය කර ගත්තෝ ඔවුන් දඩයම් කරනු පිණිස විශේෂ මහන්සියක්‌ දැරුවෝය.

එහෙත්, ගැලරියෙහි සිට වාර්තා ලියන්නකු හසුවූ විට ඔහුගේ ලිපි ද්‍රව්‍ය ඔහු වෙතින් ඉවත් කිරීමත් ඔහු ගැලරියෙන් පිටමං කිරීමත් හැර වෙනත් කිසිදු දඬුවමක්‌ ඔවුනට දීමට ආරක්‌ෂක බලධාරිනට බලයක්‌ නොතිබිණි. පාර්ලිමේන්තුව ගත් කිසිදු පියවරක්‌ නිසා ප්‍රවෘත්ති ලේඛකයන්ගේ රහසිගත වාර්තාකරණය නතර නොවුණු අතර දහ අටවැනි සියවසේ උදාවත් සමඟ ප්‍රවෘත්ති වාර්තාකරුවනට පාර්ලිමේන්තු ගැලරිය තුළ කලින් තිබුණාට වඩා පුළුල් නිදහසක්‌ ලැබෙන ලකුණු පහළ විය.

කතානායකවරයාගේ ඇස ගැසෙන ඉසව්වෙන් ඈත් ව, මහජන ගැලරියේ පසු පෙළ ආසන පාවිච්චි කිරීමේ අවසරය අටලොස්‌ වැනි සියවසේ ආරම්භයත් සමඟම වාගේ ප්‍රවෘත්ති ලේඛකයන්ට ලැබීම, ඔවුන්ගේ දීර්ඝ කාලීන සටනේ අති විශිෂ්ට ජයග්‍රහණයක්‌ විය. වසර 1803 වන විට ඒ ආසන පෙළ සම්පූර්ණයෙන් ම ප්‍රවෘත්ති ලේඛකයන් සඳහා වෙන්වුණු අතර ඒ අවුරුද්දේ මැයි 14 වැනිදා පුවත්පත් වාර්තාකරුවන්ගේ විශේෂයෙන් ම පාර්ලිමේන්තු රැස්‌වීම් තම පුවත්පත් වලට වාර්තා කළ මාධ්‍යවේදීන්ගේ ඉතිහාසයේ අතිශය වැදගත් දවසක්‌ බවට පත්වූයේ එවකට සිටි ඇබට්‌ නම් කතානායකවරයා එම වාර්තාකරුවන් සම්බන්ධයෙන් ඉතා වැදගත් තීරණයක්‌ ගත් හෙයිනි.

සෙසු ජනතාව පාර්ලිමේන්තු ගැලරියට ඇතුළු වන්නට කලින් එහි පිවිසි තමනට වෙන් වු අසුන් ගැනීමට පුවත්පත් වාර්තාකරුවන්ට අවසර දීමට තමා තීරණය කළ බවත් වේත්‍රධාරි සමඟ ද සාකච්ඡා කොට ඒ සඳහා අවශ්‍ය විධිවිධාන සැලසූ බවත් ඇබට්‌ කතානායකවරයා නිවේදනය කළේ එදිනය. ඔහු එය ඔහුගේ පො_ද්ගලික දින පොතෙහි ද සටහන් කළේය. සිය දීර්ඝ කාලීන සටනේ විශිෂ්ට ජයග්‍රණයක්‌ දුටු පුවත්පත් කලාවේදීන්ගේ සතුට නිම්හිම් නැති විය.

සටනට මුල සිටම උර දුන්නවුන්ගෙන් කෙනෙකු වු විලියට්‌ කොබට්‌ නම් පත්‍ර කලාවේදියා ඔහුගේ සිතෙහි උපන් අලුත් අදහසක්‌ ක්‍රියාවට නඟමින් 'දේශපාලන සටහන් පොත' නමින් කෘතියක්‌ පළ කළේ ය. පුවත්පත්හි පළ වුණු පාර්ලිමේන්තු වාර්තා අනුසාරයෙන් පක්‌ෂ භජනයෙන් බැහැරව සැකසුණු විවරණයෙන් ද යුත් ඒ කෘතිය මධ්‍යස්‌ථ විචාරයක්‌ වශයෙන් පාඨකයන්ගේ සිත් තදින් ඇද බැඳ ගත්තේ ය. අට අවුරුද්දක්‌ තිස්‌සේ දේශපාලන සටහන් පොත පළ කළ කොබට්‌, අන්තිමේ දී එහි අයිතිය ඔහුගේ මුද්‍රණකරුට වික්‌කේ ය.

ඒ ගනුදෙනුව හැන්සාඩ් වාර්තා පොත පිළිබඳ ඉතිහාසයේ ඉතා වැදගත් සිද්ධියක්‌ වූයේ ගැනුම්කරු තෝමස්‌ කර්සන් හැන්සාඩ් නමැත්තකු වු හෙයිනි. ඔහුගේ පියා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ලිපි ලේඛන මුද්‍රණය කිරීමේ කටයුතු බාරව සිටි ලූක්‌ හැන්සාඩ් නමැත්තෙකි. තෝමස්‌ කර්සන් හැන්සාඩ් (ටී.සී.හැන්සාඩ්) හා ඔහුගේ දරු මුණුපුරෝ ද පුරා අසූ අවුරුද්දක්‌ තිස්‌සේ ඒ වාර්තාව පළ කරගෙන ආහ. කලකට පසු සිය පෙළපත් නාමය ඒ වාර්තාවට තැබීමෙන් 'හැන්සාඩ්' යන්න පාර්ලිමේන්තු ඉතිහාසයට එක්‌ කිරීමට ඔවුහු සමත් වූහ.

කොබට්‌ මාදිලිය අනුව, පුවත්පත් වාර්තාවලින් සැකසුණු පළමුවැනි හැන්සාඩ් වාර්තා පොත 1812 දී ප්‍රකාශයට පත්විය. ඒ වන විට වඩාත් විස්‌තරාත්මක විවාද වාර්තාවක්‌ සම්පාදනය කිරීමේ අවශ්‍යතාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ උභය මන්ත්‍රී මණ්‌ඩලයට ම (නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලය හා උත්තර මන්ත්‍රී මණ්‌ඩලය) ඒත්තු ගොස්‌ තිබිණි. ඒ අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා එක්‌ එක්‌ මන්ත්‍රී මණ්‌ඩලයට නිල වශයෙන් ලඝූ ලේඛක වාර්තාකරුවකු බැගින් පත්කර ගැනීමට ලේකම්වරුන් දෙදෙනාට අනුමැතිය දෙන යෝජනාවක්‌ 1813 දී මන්ත්‍රී මණ්‌ඩල දෙකෙන් ම සම්මත විය.

ඒ අනුව මණ්‌ඩල දෙකම විසින් තෝරා ගන්නා ලද්දේ 'ගර්නේ' නම් ඉංග්‍රීසි ලඝූ ලේඛන ක්‍රමය උගැන්වුණු ආයතනයේ ප්‍රධානියාව සිටි බ්‍රොඩ් ගර්නේ නමැත්තාය. එයින් අවුරුදු කීපයකට පසු පාර්ලිමේන්තු විවාද පද්‍ය නූපද වශයෙන් වාර්තා කිරීමේ නිපුණත්වය ඇති පුළුල් නිල වාර්තාකාර කාර්ය මණ්‌ඩලයක්‌ විසින් සැකසුණු හැන්සාඩ් වාර්තා පොත ප්‍රකාශයට පත්වන්නට පටන් ගති. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්‌ බවට පත්වීමෙන් පසු එය අපට ද උරුම වූයේ ය. අපේ පාර්ලිමේන්තු වාර්තා පොත හෙවත් 'හැන්සාඩ්' බිහිවූයේ එසේ ය.

(c) Shilpa Sayura Foundation 2006-2017