ජනාධිපතිවරණයේ දී ඡන්ද ගණින අයුරු
 

ජනාධිපතිවරණයේ දී ඡන්ද ගනින්නේ කෙසේ ද?

පළමු වටයේ දී අවශ්‍ය ඡන්ද ගණන නොලැබුණොත් දෙවැනි වටයේ දී මනාප ගණන් කොට වැඩියෙන් ඇති තැනැත්තා ජනාධිපති වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇත.

පළමු වටයේ දී ම ජනාධිපතිවීමට දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් හරි අඩකට වඩා එක ඡන්දයක්‌ හෝ ලැබී තිබිය යුතු ය.

වලංගු ඡන්ද සංඛ්‍යාව යනු නරක්‌ වු හෙවත් අවලංගු කරන ලද ඡන්ද ඉවත් කොට ලැබෙන සංඛ්‍යාව ය. (ආ.ක්‍ර.ව්‍ය. 94 සහ පනතේ 56 වගන්ති)

එහෙත් ගැටලුව පැන නගින්නේ එක්‌ අයකුටවත් හරි අඩකට වඩා නොලැබී තිබුණොත් ය.

මෙම ජනාධිපතිවරණයට 13 දෙනකු තරඟ කරන නිසා මනාප ගැනීම සඳහා අවස්‌ථාවක්‌ ඇති වුවහොත් වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගත් දෙදෙනා හැර අනෙකුත් 11 දෙනා තරගයෙන් ඉවත් කරනු ලැබේ. එනම් මනාප පළමු දෙදෙනාට පමණක්‌ එකතු කරන බැවිනි.

ඉවත් කරන 11 දෙනාට ලැබී ඇති ඡන්ද පත්‍රිකාවල මනාප මුල් දෙදෙනාට ලකුණු කර ඇත්දැයි සොයා බලා ඒ දෙදෙනාට එකතු කරනු ලැබේ. එසේම එම ඡන්ද පත්‍රිකාවන්හි දෙවැනි මනාප වෙන කෙනකුට ලකුණු කර ඇතත් තුන්වැනි මනාපය අර දෙදෙනාගෙන් එක්‌ අයකුට ලකුණු කර ඇත්නම් එය ද ඔවුන්ට එකතු කරනු ලැබේ.
මෙසේ එකතුකොට ලැබෙන ලැබෙන සංඛ්‍යාවලින් වැඩි සංඛ්‍යාවක්‌ ගත් තැනැත්තා ජනාධිපති වශයෙන් ප්‍රකාශයට පත්කරනු ලැබේ.

එහිදී සියයට පනහේ සංඛ්‍යාව තිබිය යුතු නැත. අඩකට අඩු වුණත් වැඩි සංඛ්‍යාව ඇති අයට ජනාධිපතිකම ලැබේ.
මෙසේ මනාප ගණන් කිරීමේ දී ඒ දෙදෙනාට සමාන සංඛ්‍යා ලැබී තිබුණොත් මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් කුසපත් ඇදීමෙන් ජනාධිපති තොරනු ඇත. එවැනි ඉතා දුර්ලභ අවස්‌ථාවක්‌ උදා වුවහොත් අපට ලොතරැයි ජනාධිපති කෙනකු ලැබෙනු ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017