ජනාධිපතිවරණයේ දී ඡන්දය දෙන්නේ මෙහෙමයි
මේ සම්බන්ධයෙන් කලින් ජනාධිපතිවරණයක දී ඡන්දය පාවිච්චි කළ අයට එතරම් ගැටලුවක් නැතිවනු ඇත. එහෙත් බොහෝ දෙනාට ඡන්දය යන්න සඳහන් වන විටම සිතට එන්නේ කතිර (*) ලකුණ ය. එහෙත් මෙහිදී එය සීමාවී තිබේ. අපේක්ෂකයන් විශාල සංඛ්‍යාවක් සිටීම නිසා තුන් දෙනකුට වැඩියෙන් තරඟ කරන විට, ඡන්ද දායකයකුට ‘'1' , '2' , '3' වශයෙන් ඉලක්කම් තුනක් තුන් දෙනෙකු වෙනුවෙන් යෙදිය හැකියි. එහිදී '1' ලකුණින් අදහස් වන්නේ ඡන්දයයි. '2' , '3' ඉලක්කම් දෙකෙන් අදහස් වන්නේ මනාපය ලකුණු කිරීමයි. එහෙයින් මෙවර ඡන්දය දැමීමේ දී ඔබ '1' ලකුණු කළ යුතු අපේක්ෂකයා අපේක්ෂිකාව පළමුව තෝරාගෙන ඔහුට හෝ ඇයට පළමුව ඔබේ ඡන්දය දැමිය යුතු ය. ඊළඟට ඔබේ මනාපය සඳහා 2,3 වශයෙන් දෙදෙනෙකුට ලකුණු කළ හැකියි.
ඡන්දයේත්, මනාපයේත් වෙනසක් තිබේ ද?
ඔබේ ඡන්දය 1 ලකුණින් සටහන් කළ යුතුය. එය කතිරයකින් ලකුණු කළත් ඡන්දය වශයෙන් ගණන් ගත හැකියි. යම් කෙනකු 1 ලකුණ හෝ කතිරය හෝ දෙකෙන් එකක් පමණක් ලකුණු කළොත් එය වලංගු ඡන්දයක් වේ. එහෙත් එයින් එකක්වත් නැතිව 2 සහ 3 හෝ එක ඉලක්කමක් පමණක් හෝ ලකුණු කළොත් එම පත්‍රිකාවෙන් ඡන්දය ප්‍රකාශ නොවන නිසා අවලංගු වේ. එහෙයින් ඡන්දය ප්‍රකාශ නොකරන අවස්ථාවක මනාපය පමණක් වලංගු නොවේ.
යම් විදියකින් ඔබ 1 ලකුණ හෝ කතිර ලකුණ හෝ දෙක බැගින් ප්‍රකාශ කළොත් එම ඡන්ද පත්‍රිකාව ද අවලංගු වේ. එහිද මනාපය පමණක් ගණන් ගන්නේ නැත. එහෙත් ඔබ මනාප දෙකක් ලකුණු කළොත් එනම් 2 ලකුණ දෙවරක් නැත්නම් 3 ලකුණ දෙවරක් ලකුණු කළොත් එම ඡන්ද පත්‍රිකාවේ ඡන්දය ගණන් ගැනෙන අතර මනාපය අවලංගු වේ.
මේ නිසා ඡන්දයට ප්රමුඛ වටිනාකමකුත් මනාපයට ද්විතීයික වටිනාකමකුත් දී ඇත. එහෙත් එක් අපේක්ෂකයකුටවත් සියයට පනහට වඩා එක ඡන්දයක්වත් නොතිබුනොත් මනාප ගැනීම සිදුවේ. එවිට දෙවැනි තුන්වැනි මනාප, අපේක්ෂකයාගේ ඡන්ද සංඛ්‍යාවට එකතු වන්නේ ඡන්දය හා සමාන වටිනාකමකි.
අනික් අතට එක් අපේක්ෂකයකුට හෝ සියයට පනහට වඩා ඡන්ද එකක් හෝ ලැබී තිබුණොත් පළමු වටයේ දී ම ජනාධිපති පත්වන බැවින් මනාපවලට කිසිම වටිනාකමක් නොලැබේ. එහෙයින් ඡන්දවලත්, මනාපවලත් විශාල වෙනස්කමක් ඇත.