1798-1815
ශ්‍රී ලංකාවේ අවසාන රජතුමාය. නායක්‌කර් වංශිකයෙකි. ඔහුගේ මුල් නම 'කන්නසාමි' විය. රාජාධි රාජසිංහ රජුගෙන් පසු සිහසුන උරුම වූයේ 'මුත්තුසාමි' ටය. පිළිමතලාවේ මහාධිකාරම් තුමාගේ උපකාරයෙන් කන්නසාමි රජකම ලබා ගත්තේය.
මේ වන විට ලංකාවේ මුහුදුබඩ පළාත් ඉංග්‍රීසින් ගේ පාලනයට අයත් විය. කන්ද උඩරට පස් රට සෙංකඩගල රාජ්‍ය යටත්කර ගැනීමට විටින් විට යුද වැදුනත් ඉංග්‍රිසීන්ට එය ඉටුකර ගැනීම දුෂ්කර විය. 1776 සිට 1805 දක්‌වා ප්‍රථම ඉංග්‍රිසි ආණ්‌ඩුකාර වරයා වූයේ පෙඩ්රික් නෝර්ත්ය.
ඔහු 1802 - 1803 - 1805 ආදි වර්ෂ වල විටින් විට කන්ද උඩටර රාජ්‍යට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළත් පරාජයම ලැබීය. නෝර්ත්ගෙන් පසුව ඉංග්‍රිසින් ලංකාවේ ආණ්‌ඩුකාර ධූරයට පත්කර එව්වේ හමුදා නිධාරියකු වූ මේජර් ජනරාල් තෝමස් මෙට්‌ලන්ඩ් ය. ඔහුගේ හය අවුරුදු නිල කාලය ඉක්‌මවීමෙන් පසු ලංකා ආණ්‌ඩුකාර ධූරයට පත්ව ආයේ තවත් හමුදා නායකයකු වූ රොබට් බ්‍රවුන්රිග්ය.
වර්ෂ 1812 සිට 1822 දක්‌වා ඔහුගේ දස අවුරුදු පාලන කාලය තුළදීය ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍ය පාලනයට නතුවූයේ. එයද සටනින් පරාද වී නොව ගිවිසුමක් මගිනි. නෝර්ත් හා මෙට්‌ලන්ඩ් ආණ්‌ඩුකාරවරු එයට අවශ්‍ය පසුබිම සකස් කළෝය. ශුර රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ නෝර්ත් සිංහලයේ නායකයින් රජු කෙරෙහි බිඳ වී රාජ්‍යය බලය දුර්වල වන අවස්‌ථාවක් එනතුරු බලා සිටියේය.
ඔහුට ඊට අවශ්‍ය පසුබිමද සකස් කළේය. පිළිමතලාවේ මහ අධිකාරම් සමඟ රහස් සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට නෝර්ත් සමත් විය. එපමණක් නොව 1800 ජනවාරි 08 වෙනිදා දඹදෙණියේ දී පිළිමතලාවේ සමඟ රහස් ගිවිසුමක්‌ද ඇතිකර ගත්තේය. එමෙන්ම සිංහලයේ තවත් නායකයෙකු වූ දෙවැනි අධකාරම් මීගස්‌තැන්නේ හා ඔහුගේ බෑනා වූ තුන් කෝරළේ රත්වත්තේ දිසාවද නෝර්ත් හමුව සාකච්ඡා කර සම්බන්ධකම් පැවැත්වූහ. මේ සියල්ලෙන්ම බලාපොරොත්තු වුණේ රජුගේ රාජ සභාවේ නායකයින්ද තමන් පැත්තට නම්වා ගන්නා අතරම භේදයද වැපිරීමය.
එපමණක් නොව එදා මල්වත්තේ මහා නායකව සිටි මොරතොට ධම්මක්‌ඛන්ධ නාහිමියන් මගින්ද ඔවුන් බැලුවේ රජතුමා සමඟ මිත්‍ර සන්ධානයක් ගොඩනගා ගැනීමටයි. ඉන් නොනැවතුනු නෝර්ත් රජතුමා බැහැදැකීමට තානාපති නිලධාරින් කණ්‌ඩායමක් ද එවීය. රජතුමාද රන් මුදුවක්, මාලයක් හා ඇතකු ඉංග්‍රීසි ආණ්‌ඩුවට තෑගි වශයෙන් දී එම පිරිස පිළිගත්තේය. එසේ එවන ගමන්ම 1800 අප්‍රේල් මාසයේදී තානාපති සේවාවන් වේශයෙන් යුද්ධ හමුදා භට පිරිසක් ද ඩොයිඩ් මැක්‌ඩොවල් සෙනවියා යටතේ ගන්නොරුව දක්‌වා පැමිණියත් ඔවුන්ගේ අපෙක්‍ෂා භංගත්වයට පැමිණ හිස් අතින්ම ආපසු කොළඹට ගියෝය.
මේ වන විටත් සිංහලේ වැසියෝ අවු. දෙසීයක් පමණ කාලයක් පෘතුගීසින්, ලංදේසින් හා ඉංග්‍රිසින් සමඟ විටින් විට යුද්ධ වදිමින් සිටියෝය. ඒ යුද්ධ වලින් රටේ ජනතාව හෙම්බත්ව සිටියා මෙන්ම රාජ භාණ්‌ඩාගාරයටද මෙය සෑහෙන අන්දමින් බලපා තිබුණි. වසංගත රෝග හා මැලේරියාවද රට කෙරෙහි අහිතකර බලපෑමක් විය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුටද රටේ අභ්‍යන්තරයෙන් පැන නැගී ඇති ජනතා අප්‍රසාදය ඉව වැටෙන්නටද ඇත.
රජතුමා ඔහුගේ සියළුම මලබාර් ඥාතීන් අද මලබාර් වීදිය නමින් දැක්‌වෙන ප්‍රදේශයේ පදිංචි කෙරුවේය. ඔවුන්ට ව්‍යාපාර වල යෙදී මුදල් ඉපයීමට ඉඩ සැලසීය. ඒ අතරම ඔවුන්ගේ යැපීමටද භාණ්‌ඩාගාරයේ අරමුදල් යෙදවීය. තම ඥාතීන් ජනතාවගේ මුදලින් පෝෂණය කිරීම සහ නඩත්තු කිරීම එදාත් සිංහලේ ජනතාව තදින්ම පිළිකුල් කළහ. ඒ පිළිබඳ ඔවුන්ගේ අසතුටද පළ කළහ. රත්තරන් ආභරණ වෙළඳාම, මුතු මැණික් වෙළඳාම, මුදල් පොලියට දීම ආදි ලාභදායි ව්‍යාපාර තමන්ගේ ඥාතීන්ට කරගෙන යාමට මඟ පාදා දුන්නා. එවන් පසුබිමක ජනතා අප්‍රසාදය ඇතිවීම පුදුමයක් නොවේ. රජතුමාද තමාට නැග එන විරෝධය තුනී කිරීම වස් ජනතාව භේද ඇතිකරවීමට ක්‍රියා කළේය.
රාජ සභාවේ සිටි සිංහලයේ ප්‍රධාන අධිකාරවරුන්ගේ බලය බිඳ ඇමීමට අවශ්‍ය පියවර ගත්තේය. ඇහැලේපොල සිටියදීම සබරගමුවේ අධිකාරම් වශයෙන් මොල්ලිගොඩ පත් කළේය. ඉංග්‍රීසින්ගේ බලාපොරොත්තුව වූයේද රජතුමාගේ බලය අඩුකර යුද්ධයට යාමය. ඔවුන් 1805 ජනවාරි 10 වැනි දින සෙංකඩගලට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කර ජනවාරි 31 දින මේජර් ජනරාල් මැක්‌ඩොවල් යටතේ සටන් මෙහෙයවීය.
නමුත් ඉංග්‍රීසිහු ඒ සටනින් පරාජය වූහ. සිංහල හමුදාව ඉංග්‍රිසින්ගේ සීතාවක කඳවුරට 1815 ජනවාරි මුලදී පහර දී යටත්කර ගත්හ. 1805 ජනවාරි 28 වැනි දින කොළඹින් 1700 ක හමුදාවක් සහ ත්‍රිකුණාමලයෙන් දහසක හමුදාවක් කර්නල් බාබුට් යටතේ කන්ද උඩරටට පැමිණියහ. අපේ සිංහල වීරෝධාර මුතුන් මිත්තෝ සතුරු හමුදාව පරාජය කළහ. මේ අතර රජු වියරු වැටුණු අයකු මෙන් කටයුතු කළේ මත්පැනට ඇබ්බැහිවීමෙනුයි.
තමන්ට රජකම ලබාදීමට උදව් කළ පමණක් නොව රජකම ලබාදුන්නා වූ පිළිමතලාවේ අධිකාරම්ගේ හිස ගසා දැමීමට 1812 දී අණ කළේය. නුවර කලාවියේ දිසාව වූ පුස්‌සැල්ලේ නිලමේගේ පවුල් සමූල ඝාතනය කිරීම, පිළිමතාලාවෙගේ සහ ඔහුගේ බෑණා වූ රත්වත්තේගේ හිස ගසා දැමීම මෙයින් ප්‍රධානම වූ සිද්ධීන් ය. මෙයින් නොනැවතුනු රජු ඇහැලේපොළ අධිකාරම්ගේ අනුගාමිකයන් හතළිස් දෙනකු සෙංකඩගලට ගෙනැවිත් උල තැබුවේය.
හත් කෝරළේ නායක ප්‍රභුවරුන් හැත්තෑවක් අල්ලා මරා දැමීය. මෙයින් වූයේ මරා දමන ලද ප්‍රභු නායකයින්ට හිතවත්ව සිටි සියලු පිරිස් රජුගෙන් ඈත් වීමය. බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරයා මේ සියලුම සිද්ධීන් බලා සිටියේ යුද්ධ ප්‍රකාශ කිරීමට උචිත අවස්‌ථාවක් එළඹෙන තුරුය. දැන් එම අවස්‌ථාව එළඹ ඇත. රජතුමාද ඉංග්‍රීසින් පිරිසක් අල්ලා වද දී අත් පා සිඳ කොළඹට ආපසු යැවීමට සැලැස්‌සවීමෙන් ගිනි පුපුරු දැල්වීය.
1815 ජනවාරි 11 දින ආඥාවෙන් සේනාධිනායක ධූරය දැරූ ලෙප්ටිනන්ට් ජෙනරාල් රොබර්ට් බ්‍රවුන්රින්ග් සිංහලේ රජුට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළේය. ඇහැලේපොළ, මොල්ලිගොඩ මහ අධිකාරම් ඇතුලු ඇතැම් රදල පිරිස් ඉංග්‍රීසින්ට එකතු වූහ. දැන් කොළඹ සිට හමුදාවක් සෙංකඩගල දෙසට ගමන් අරඹා ඇත. තවදුරටත් සෙංකඩගල රැදී සිටීම නුවණට හුරු නොවන බව වටහා ගත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඔහුගේ බිසවුන් දෙදෙනෙකු හා ඥාතිවරුන්ද වහලුන් දෙදෙනෙකු හා සේවකයන් දෙදෙනෙකුද සමඟ සෙංකඩගල රජගෙදරින් පෙබරවාරි 08 වෙනිදා හොර රහසේම පැන ගත්තේය. පෙබරවාරි 12 වෙනි දින මේජර් ඩොයිලි මාළිගයට ඇතුළු වී සෝදිසි කරන විට රජ මාළිගය හිස්‌ව ගොස් තිබුණ බව වාර්තා කළේය.
මේ වන විට රජතුමා සෙංකඩගලින් පිටත්වී මැදමහනුවර දෙසට ගිය බව සැලවූයෙන් පිරිසක් තෙල්දෙණියට ගොස් හුළු ගඟ ඉවුරෙහි කඳවුරු බැඳ ගස්‌හ. මේ පිරිස අතර ඇහැළේපොල, මොල්ලිගොඩ, පිළිමතාලාව, එක්‌නැළිගොඩ, දෙල්වල, මහවලතැන්න ඇතුළු තවත් පිරිසක්‌ද විය. පෙබරවාරි 18 වැනි දින උදය කඳවුර ලා සිටි පිරිස අතරින් ඇහැළේපොලත් එක්‌නැළිගොඩත් ඇතුලු පිරිසක් මැදමහනුවර බලා පිටත්වූහ. මේ පිරිස දැක බියෙන් පලා යන කොලු ගැටයෙක් අල්ලා ගනිත්ම ඔහු කීවේ අනේ මාව මරන්න එපා දෙයියෝ ලඟම ඉන්නවා මම එක්‌ක යන්නම් යනුවෙනි. කොලුවා පිරිස කැටුව ගියේ බෝමුරේ ගාලේ වත්තේ ගෙදර ආරච්චිගේ නිවසටයි. පිරිස යන විටම පිටතින් සිටි මුර කරුවන් දැකීමෙන් රජු එහි සැඟවී සිටින බව ඒත්තු ගියේය. මුරකරුවකු ආයුධයකින් දමා ගසා පිරිස එහි යාම වැළක්‌වීමට උත්සහ කළත් එය වි&ර්ථ විය.
ඔහු වෙඩි තබා මරා දමන ලදී. සුලු කලබලයකින් පසුව එක්‌නැලිගොඩ ගෙයි දොර කඩා ඇඳ යට සිටි රජු එළියට ඇද ගත්තේය. වැල්පටවලින් රජුගේ දෙඅත් සහ පාද බැඳ කුඳලා වල් ඌරකු මෙන් තෙල්දෙණිය දක්‌වා ගෙන එන ලදී. එදා හුලු ගඟ ඉවුරේදී වැල් ලිහා දැමූ තැන වැල්ලේතොට විය. අද වැල්ලේතොට වික්‌ටෝරියා ජලාශයට වැසී ඇත. රජුගේත් බිසෝවරුන්ගේත් රන් ආභරණ ආදී ආයිත්තම් ගලවා ගන්නා ලදුව ලේ පැල්ලමක් සහිත බිසවකගේ හැට්‌ටයක් අදත් කෞතුකාගාරයේ තිබේ. තෙල්දෙණියේ සිට පිරිස ගෞරව සහිතව අශ්වාරෝහක @ජ්‍යෂ්ඨ නිලධාරින් දෙදෙනෙකු සමඟ ගමන් ගත්තේය. ජෝන් ඩොයිලි තම නායක බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරයාට සිද්ධිය වාර්තා කළේ මෙසේය.
"රජතුමාගේ ධාණ්‍යාගාරය.
තෙල්දෙණිය
1815 පෙබරවාරි 19
හිතවත් උතුමාණෙනි.
මෙම කාරණය උතුමාණන්වෙත සැලකරන්නේ මගේ හිතේ ඇති අප්‍රමාණ සතුටකිනි. එනම් ඔබ වහන්සේ මහත් අමන්දානන්දයට හේතු වන පරිදි සිංහලේ රජතුමා දැන් අපේ හිරකරුවෙකි. ඊයේ ඔහු වටකරන ලද්දේ අපේ හමුදාව හා තුවක්‌කු සහිතව සිටි දුම්බර වැසියන් විසින් අදුර වැටීමට පැයකට පනණ පෙර මැදමහනුවර ගල්ගේ වත්තේ උඩුපිටියේ ආරච්චිගේ නිවසේහිදීය. ගෙදර වටකරන විට එහි සිටි කීප දෙනෙකු වෙඩි වැදී තුවාල වූ පසු සෙසු පිරිස පැන දිව්වෝය. මම පිරිස හමුවීමට මගේ දෝලාවෙන් රඹුක්‌වැල්ල දක්‌වා පෙර ගමන් යමි. රජුගේ මව හා තවත් බිසවුන් දෙදෙනෙකු හංවැල්ලේ සිටින බැවින් ඔවුන්ටද ඒමට පණිවුඩ යවමි. ඒ සමඟම රජුගේ නායක්‌කාර ඥාතීන් සියලු දෙනාටත් යටත්වීමට තල්පත් පණිවුඩ පිටත්කරමි."
රජු කොළඹට ගෙන ගොස් 1816 ජනවාරි 24 වැනි දින කොන්වොලිස් යුද්ධ නැවෙන් මදුරාසිය බලා පිටත්කර යවන ලදුව 1832 ජනවාරි 30 වැනිදා වෙල්ලෝර්හිදී මිය ගියේය. 1604 දී දුම්බර හා යටිනුවර බඳ සූර්ය වංශික කුමරුවකු වූ විමලධර්මසූරිය මහ රජතුමා අවසන් වරට එක්‌සේසත් කළ සිංහල රට හා සිංහලේ රාජවංශය මෙසේ නායක්‌කාර් වංශයට අයත් වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පනස් හැවිරිදි ජීවිත කාලයෙන් පසුව සදහටම සිංහලයට අහිමි විය.
