කාර්මීකරණය හා සම්බන්ධ ගැටළු
 

ශ්‍රී ලංකාවේ ශීඝ්‍ර කාර්මික සංවර්ධනයක්‌ ඇති කිරීමට ප්‍රධාන බාධකයක්‌ වන්නේ ප්‍රාග්ධන හිඟය යි. ජනතාවගේ ආදායම් මට්‌ටම මෑතක සිට තරමක්‌ ඉහළ ගිය ද ඉතුරු කිරීම අඩු ය. ඒ නිසා ආයෝජනයට ලබාගත හැකි සම්පත් ප්‍රමාණය ශීඝ්‍ර කාර්මික දියුණුවක්‌ ඇති කිරීමට ප්‍රමාණවත් නොවේ.

රජය විසින් ප්‍රාග්ධන ආයෝජන කලාප පිහිටුවා එමගින් විදේශීය ප්‍රාග්ධනය ලබා ගැනීමට උත්සාහ කිරීමට එක්‌ හේතුවක්‌ නම් අප රටේ ප්‍රාග්ධන හිඟය බව ඔබට අවබෝධ වනු ඇත. විදේශාධාර ලබාගැනීමෙන් ද ප්‍රාග්ධන හිඟය අඩු කිරීමට රජය ක්‍රියා කරයි.

සමස්‌තයක්‌ වශයෙන් ගත් කල ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශයේ 1978 න් පසු වර්ධනයක්‌ ඇති වු බව පෙනේ. 1980 දී කර්මාන්ත සම්බන්ධයෙන් කැපී පෙනෙන ලක්‌ෂණය වූයේ අපනයන සැකසුම් කර්මාන්තයන්හි ප්‍රසාරණයත් විදේශ රටවල් බෙහෙවින් මෙරට කර්මාන්තශාලා පිහිටුවීමට හා මෙහෙයවීමට සම්බන්ධ වීමත් ය. කෙසේ වෙතත් ආනයන භාණ්‌ඩ බෙහෙවින් මෙරටට ඇතුළුවීම නිසා එතරම් කාර්යක්‌ෂම නො වූ කර්මාන්ත වලට ඒ භාණ්‌ඩ සමඟ තරඟ කරන්නට සිදු වූයෙන් දුර්වල කර්මාන්ත සමහරක්‌ වසා දැමීමට පවා සිදු වී ඇත. මේ ප්‍රශ්නය රජයේ අවධානයට ලක්‌ව ඇති බව පෙනේ.

ශ්‍රී ලංකාව සඳහා වඩා සුදුසු වන්නේ විශාල යන්ත්‍ර සූත්‍ර භාවිත වන ශ්‍රමය අඩුවෙන් අවශ්‍ය වන කර්මාන්ත ද නැතිනම් කුඩා පරිමාණයේ කර්මාන්ත ද යන්න ද ගැටළුවකි. බටහිර දියුණු රටවල මෙන් විශාල පරිමාණයෙන් භාණ්‌ඩ නිපදවීමට මහා පරිමාණ නවීන කර්මාන්ත ආධාර වේ. එහෙත් එවැනි කර්මාන්ත මගින් සැපයෙන රැකියා ප්‍රමාණය අඩු ය. කුඩා පරිමාණයේ කර්මාන්ත හා ගෘහ කර්මාන්ත මගින් විශාල රැකියා ප්‍රමාණයක්‌ සැපයිය හැකි හෙයින් එවැනි කර්මාන්ත ශ්‍රී ලංකාව වැනි රටවලට වඩාත් යෝග්‍ය වේ.

ශ්‍රී ලංකාවේ කර්මාන්ත සඳහා බලය හා ඉන්ධන සපයා ගැනීම සම්බන්ධයෙන් ද ගැටළු ඇත. අප රට ගල් අඟුරු හා ඛනිජ තෙල් නොලැබේ. ශ්‍රී ලංකාවේ ජල විදුලි බල නිෂ්පාදනය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින නිසා අනාගතයේ දී පිහිටුවනු ලබන කර්මාන්ත සඳහා එම බල ශක්‌තිය වැඩි වශයෙන් භාවිතයට ගත හැකි වනු ඇත. එහෙත් දැනට පිහිටුවා ඇති සමහර කර්මාන්ත සඳහා ද ඛනිජ තෙල් වැනි ඉන්ධන අවශ්‍ය වේ. ඛනිජ තෙල් වල මිල ශීඝ්‍රයෙන් වැඩි වීම නිසා ශ්‍රී ලංකාවට බලවත් ආර්ථික දුෂ්කරතා ඇති වී තිබේ.

නවීන නිෂ්පාදන කර්මාන්ත සඳහා අවශ්‍ය වන පුහුණු ශ්‍රමය ශ්‍රී ලංකාවෙන් සපයා ගැනීම දුෂ්කර වීම තවත් ගැටළුවකි. ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයන් මැද පෙරදිගට සංක්‍රමණය වීම ද එම ගැටළුව තව දුරටත් උග්‍ර වීමට හේතු වේ. මෑතක සිට ක්‍රියාත්මක වන නිදහස්‌ වෙළඳ කලාප යෝජනා ක්‍රමය ද අප රට පුහුණු ශ්‍රමිකයන්ඇති වීමට උපකාර වේ ය යි විශ්වාස කෙරේ. තව ද නවීන කාර්මික දියුණුවට උචිත පුහුණු පුද්ගලයන් බිහි වන පරිදි අපේ අධ්‍යාපන ක්‍රමය සැලසුම් කිරීම ද අවශ්‍ය වේ.

ශ්‍රී ලංකාව කුඩා රටක්‌ නිසා ද ඒක පුද්ගල ආදායම අඩු නිසා ද රට තුළ පවත්නා වෙළඳ පොළ විශාල පරිමාණයෙන් කාර්මික භාණ්‌ඩ නිෂ්පාදනයට ප්‍රමාණවත් තරම් පුළුල් නොවේ. මේ නිසා ප්‍රාදේශීය සහයෝගිතා ගිවිසුම් මගින් වෙනත් රටවල් අපේ කාර්මික භාණ්‌ඩ අලෙවි කර ගැනීමට ඇති ඉඩ කඩ වැඩි දියුණු කර ගැනීමට සිදු වනු ඇත.

රටක කාර්මික දියුණුව ඇති වන විට පරිසරයේ පවිත්‍රතාව ආරක්‌ෂා කර ගැනීම ද බලවත් ගැටළුවක්‌ වේ. කර්මාන්ත ශාලා වලින් පිටවන තෙල් වර්ග, දුම් හා වෙනත් අපවිත්‍ර ද්‍රව්‍ය වලින් රටේ ජලය, පස හා වායුව දූෂණය වීම වැළැක්‌වීමට කාර්මික දියුණුවේ මුල් අවස්‌ථාවේ සිට ම සැලකිලිමත් වීම අවශ්‍යය ය. නාරාහේන්පිට පලතුරු ටින් කිරීමේ කර්මාන්ත ශාලාව, වාලච්චේනයිහි කඩදාසි කර්මාන්තශාලාව යනාදිය නිසා පරිසර දූෂණ ගැටළු පැන නැගී අවස්‌ථා ඇත.

ශ්‍රී ලංකාවේ කර්මාන්තශාලා වලින් වැඩි කොටස කොළඹ සහ අවට උප නගරවල පිහිටුවා ඇත. මේ නිසා ඉහත සඳහන් අයුරු පරිසරය අපවිත්‍ර වීම පමණක්‌ නොව නිවාස හිඟය, පරිවහන තදබදය ආදී ගැටළු වලට ද මුහුණ පෑමට සිදුවේ. හැකි සෑම විටම නාගරික ප්‍රදේශ වලින් පිටත කම්හල් පිහිටුවීම, කුඩා පරිමාණ හා ගෘහ කර්මාන්තවලට අනුබල දීම වැනි ක්‍රම මගින් ද ගැටළු ලිහිල් වනු ඇත.

අභ්‍යාසය
1. පුරාණ ශ්‍රී ලංකාවේ දියුණු ව පැවති කර්මාන්ත තුනක්‌ නම් කරන්න.
2. රටක කර්මාන්ත පිහිටු වීම අවශ්‍ය ඇයි ?
3. කර්මාන්ත ස්‌ථානගත වීම කෙරෙහි බලපාන සාධක අටක්‌ නම් කරන්න.
4. නිදහස්‌ වෙළඳ කලාපයක්‌ යනු කුමක්‌ ද ? අප රටේ නිදහස්‌ වෙළඳ කලාප පිහිටුවා සැති ස්‌ථාන දෙකක්‌ නම් කරන්න.
5. ශ්‍රී ලංකාවේ කර්මාන්ත පිහිටුවීමේ දී ඇති වන ගැටළු දෙකක්‌ නම් කරන්න.
6. ඔබ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක්‌ ඇසුරින් පහත සඳහන් කරුණු ගැන විමසන්න.
(1) ප්‍රාග්ධනය සපයා ගත් මාර්ග
(2) යොදා ගන්නා අමු ද්‍රව්‍ය ලබා ගන්නා ස්‌ථාන
(3) යොදා ගන්නා බලය
(4) නියුතු ශ්‍රමික පිරිස
(5) නිපදවන භාණ්‌ඩ වලට ඇති වෙළඳ පොළ (දේශීය/විදේශීය)

7. ශ්‍රී ලංකාවේ සිතියමක ප්‍රධාන කර්මාන්තශාලා පිහිටුවා ඇති ස්‌ථාන ලකුණු කොට නම් කරන්න.
8. පහත දැක්‌වෙන වගුව නම් කරන්න.

 

 
















කර්මාන්තය


ස්‌ථානගත වීම


ප්‍රධාන අමු ද්‍රව්‍ය වර්ගය


අමු ද්‍රව්‍ය ලබා ගන්නා ප්‍රදේශ


යොදා ගන්නා ඉන්ධන

සිමෙන්ති



පිඟන් බඩු

ටයර්, ටියුබ්
 


යකඩ සහ වානේ

කඩදාසි







(c) Shilpa Sayura Foundation 2006-2017