ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනයට ප්‍රාග්ධන හිඟය සහ නූතන තාක්‌ෂණ දැනුම හිඟ වීම වැනි කරුණු ද බාධක වන බව සඳහන් විය. විදේශීය ප්‍රාග්ධනය සහ තාක්‌ෂණය ලබාගැනීමේ මාර්ගය වශයෙන් අපනයන සැකසුම් කර්මාන්ත පිහිටුවීම අරඹා ඇත. මෙම කර්මාන්ත මගින් භාණ්‌ඩ නිපදවන්නේ හෝ සකස් කරන්නේ හෝ විදේශ රටවලට විකිණීම සඳහා වන බැවින් එමඟින් රටේ විදේශ විනිමය ඉපයීම ද වැඩි වේ. තව ද එම කර්මාන්තයන්හි ශ්‍රමිකයන් වශයෙන් ශ්‍රී ලාංකිකයන් යොදවා ගන්නා හෙයින් රටේ රැකී රක්‌ෂා සමූහයක් ද බිහිවේ.
මෙම අපනයන සැකසුම් කර්මාන්ත රටේ තෝරා ගත් විශේෂ ප්‍රදේශවල වෙන ම කර්මාන්ත කලාප වශයෙන් පිහිටුවනු ඇත. එවැනි අපනයන සැකසුම් කර්මාන්ත කලාපවල පළමු වැන්න කටුනායක පිහිටුවා ඇත. මෙවැනි කාර්මික කලාප නිදහස් වෙළඳ කලාප, ආයෝජන ප්‍රවර්ධන කලාප යන නම් වලින් ද හදුන්වනු ලැබේ.
නිදහස් වෙළඳ කලාපයක් යන්නෙන් අදහස් කරන්නේ කිසියම් ප්‍රමාණයකට තීරු බදු වලින් ද රටේ බලපවත්වන අනෙක් බදුවලින් ද නිදහස් කළ කාර්මික ප්‍රදේශයකි. මෙසේ එම කලාපයේ කර්මාන්ත වලට විශේෂ වාසියක් දී ඇත්තේ විදේශීය ව්‍යාපාරික ආයතන එකී කර්මාන්ත පිහිටුවීමට පොළඹවා ගැනීමට ය.
නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ආරම්භ කරන විදේශීය ව්‍යාපාරික ආයතනවලට එම කර්මාන්ත වලින් ලැබෙන ලාභවලින් කොටසක් රටෙන් බැහැර ගෙන යාමට ද ඉඩ ලැබේ. තව ද රටෙහි අනෙක් ප්‍රදේශවල බලපවත්වන සමහර නීති ද එම කලාපය තුළ ලිහිල් කෙරේ. මෙම තත්ත්වයන් නිසා විදේශීය හා දේශීය ව්‍යාපාරිකයන් එම කලාපය තුළ කර්මාන්ත පිහිටුවීමට වැඩි උනන්දුවක් දක්‌වනු ඇත. මෙවැනි කර්මාන්ත කලාප සිංගප්පූරුව සහ හොංකොං වැනි ලෝකයේ වෙනත් ප්‍රදේශවල ද සාර්ථක ලෙස ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් 1978 දී සම්මත කෙරුණු "මහ කොළඹ ආර්ථික කොමිෂන් සභා පනත" අනුව නිදහස් වෙළඳ කලාප යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරේ.