නිදහස්‌ ශ්‍රී ලංකාවේ කර්මාන්ත
 

වර්ෂ 1948 දී නිදහස්‌ රාජ්‍යයක්‌ බවට පත් වන අවස්‌ථාවේ දී ශ්‍රී ලංකාවේ කර්මාන්ත නොදියුණු තත්ත්වයක පැවතිණි. නිදහස දිනා ගැනීමෙන් පසු රටේ කර්මාන්ත වල දියුණුවක්‌ ඇති කර ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු විය. කාර්මික දියුණුවට පදනම් වන මූලික බැර කර්මාන්ත පෞද්ගලික අංශයෙන් ආරම්භ නොවු නිසා ඒවා රජය මගින් ආරම්භ කැරිණි.

සිමෙන්ති, සීනි, යකඩ සහ වානේ එවැනි කර්මාන්ත විය. පෞද්ගලික අංශයට ද කර්මාන්ත ආරම්භ කිරීමට විවිධ දිරි ගැන්වීම් රජය විසින් ඉදිරිපත් කරන ලදී. වර්ෂ 1957 දී කාර්මික සංස්‌ථා සමූහයක්‌ ඇති කොට රාජ්‍ය අංශයේ කර්මාන්ත එම සංස්‌ථාවලට භාර කරන ලදී. පොහොර, සීනි, රෙදිපිළි, ටයර් ආදී භාණ්‌ඩ නිපදවීම එම රාජ්‍ය සංස්‌ථාවල වගකීම විය. කර්මාන්ත දියුණු කිරීමට පස්‌ අවුරුදු සැලැස්‌ම (1972-76) මගින් විවිධ යෝජනා ඉදිරිපත් කරන ලද මුත් එම ආර්ථික සැලසුම් අපේක්‌ෂිත පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.

නිදහස උදා වීමෙන් පසු ශ්‍රී ලංකාවේ කර්මාන්ත සමූහයක්‌ අලුතින් පිහිටුවා තිබුණු නමුත් රටේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි කාර්මික දියුණුවක්‌ ලබා ගැනීමට මෙ රටට නො හැකි විය. ඊට හේතු වු සාධක සමූහයක්‌ තිබිණි.

ශ්‍රී ලංකාව කාර්මික සංවර්ධනය අතින් පහත් මට්‌ටමක පැවතීමට ඓතිහාසික හේතු බලපා ඇත. කාර්මික අතින් දියුණු වු ජාතියකට අයත් යටත් විජිතයක්‌ ලෙස අවුරුදු එකසිය පණහක්‌ පමණ කාලයක්‌ පැවතීම නිසා ශ්‍රී ලංකාවේ පැරණි කාර්මික සම්ප්‍රදායයන් අභාවයට පත් වී තිබුණු අතර නවීන කාර්මික සම්ප්‍රදායයන් බිහි වීමට අවශ්‍ය පරිසරයක්‌ ද මෙහි නොවී ය.

බ්‍රිතාන්‍ය පාලකයන්ගේ ප්‍රතිපත්තිය වූයේ ශ්‍රී ලංකාව ඔවුන්ට අවශ්‍ය අමු ද්‍රව්‍ය නිපදවන විදේශීය භාණ්‌ඩ අලෙවි කළ හැකි වෙළඳ පොළක්‌ ලෙස තබා ගැනීම ය. එම ප්‍රතිපත්තිය මත හැඩ ගැසුණු ආර්ථික රටාව නිදහසින් පසු ව වුව ද කෙටි කාලයක දී පහසුවෙන් වෙනස්‌ කළ හැකි නො වී ය.

යටත් විජිත සමයේ දී ඉංග්‍රීසින්ට ප්‍රයෝජනවත් නොවූ ඛනිජ සම්පත් අනාවරණය කර ගැනීමට හෝ දියුණු කර ගැනීමට හෝ සැලකිය යුතු ප්‍රත්නයක්‌ නො දරන ලදී. මේ නිසා කාර්මික සංවර්ධනයකට අවශ්‍ය රටේ සම්පත් පදනම ගැන දැනුම බෙහෙවින් සීමා සහිත විය.

බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ දී සම්පූර්ණ ආර්ථික ශක්‌තිය යොදවන ලද්දේ වතු වගාවන් දියුණු කිරීමට ය. එකල පැවති තත්ත්වය අනුව වත්පොහොසත්කම් ඇති අයට වතු වගාවට හා වෙළෙදාමට මුදල් යෙදවීමට මිස කර්මාන්ත සඳහා මුදල් යෙදවීමට අවස්‌ථාවක්‌ හෝ අවශ්‍යතාවක්‌ නොවී ය.

කර්මාන්ත පිළිබඳ ව පුහුණුවක්‌ හා අත්දැකීමක්‌ නො තිබීම නිසා ද කර්මාන්ත අංශයේ වර්ධනය සීමා විය. නිදහස ලබාගත් අවදියේ කාර්මික දියුණුවකට අවශ්‍ය තාක්‌ෂණ ඥාණය බෙහෙවින් හීන වු අතර විදේශීය රටවලින් ගෙන්වාගත් විශේෂඥයන්ගේ උපදෙස්‌ පරිදි පිහිටුවන ලද කර්මාන්ත මෙරට පැවති තත්ත්වයන්ට ගැලපුනේ සුළු වශයෙනි.

ප්‍රාග්ධන හිඟය ශ්‍රී ලංකාවේ කාර්මික දියුණුවක්‌ ඇති කිරීමට ප්‍රධාන බාධකයක්‌ විය. ශ්‍රී ලංකාවේ ප්‍රති ශීර්ෂ ආදායම පහළ මට්‌ටමක පැවති නිසා ඉතිරි කිරීම ද අඩුවීම හේතු කොට ගෙන කාර්මික සංවර්ධනයට අවශ්‍ය ප්‍රාග්ධනය සම්පාදනය වූයේ සුළු වශයෙනි. කම්හල් පිහිටුවීමේ දී අවශ්‍ය වන යන්ත්‍ර සූත්‍ර ආනයනය සඳහා අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීම ද දුෂ්කර වූයේය.

තේ, රබර් වැනි අපේ අපනයන භාණ්‌ඩ මගින් විදේශ විනිමය ඉපයීම නිතර වෙනස්‌ වීම නිසා රජය සකස්‌ කළ විවිධ සැලසුම් ක්‍රියාත්මක කිරීමට ද බාධා ඇති විය. කම්හල්වල යන්ත්‍ර ක්‍රියා කරවීමට අවශ්‍ය වන ගල් අඟුරු, තෙල් හා ගෑස්‌ වැනි ඉන්ධන සම්පත් අප රට නොතිබීම ද කර්මාන්ත සංවර්ධනයට අහිතකර ලෙස බලපා තිබුණු අතර ජල විදුලි බල සම්පත් පවා ප්‍රමාණවත් ලෙස සංවර්ධනය වන්නට වූයේ ඉතා මෑතක දී ය.

(c) Shilpa Sayura Foundation 2006-2017