ශ්‍රී ලංකාවේ පුරාණ කර්මාන්ත
 


කර්මාන්ත

 

කෘෂිකාර්මික පදනමක්‌ මත ගොඩනැගුණු ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ නිෂ්පාදන කර්මාන්තවල මෑතක සිට සෑහෙන දියුණුවක්‌ පෙන්නුම් කරයි. 1984 මහ බැංකු වාර්තාවට අනුව ජාතික නිෂ්පාදනයට කර්මාන්ත අංශයෙන් 26%ක්‌ එකතු වී ඇත. මෙය 1977 දී වු 12.6% වඩා සැහෙන ප්‍රගතියක්‌ පෙන්නුම් කරයි. එසේ වුවත් අප රටට අවශ්‍ය කාර්මික භාණ්‌ඩ වලින් විශාල ප්‍රමාණයක්‌ විදෙස්‌ රටවලින් ආනයනය කිරීමට සිදුවී ඇත. ඒ අතර අප රටෙහි ප්‍රයෝජනයට ගන්නා මෝටර් රථ හා යන්ත්‍ර සූත්‍ර ඇතුළු කාර්මික භාණ්‌ඩ විශාල ප්‍රමාණයක්‌ වෙයි.

..........................................................................................

 

පුරාණ ශ්‍රී ලංකාවේ රටට අවශ්‍ය භාණ්‌ඩ තැනීමේ කර්මාන්ත වර්ධනය වී පැවතිණි. යකඩ, දැව හා මැටි කර්මාන්ත මෙන්ම රෙදි විවීම, තෙල් සිදීම, රිදී, රත්තරන් හා තඹ භාණ්‌ඩ සෑදීම ද දියුණු තත්ත්වයක පැවති බවට ඓතිහාසික මූලාශ්‍ර පෙන්වා දෙයි. මෙම කර්මාන්ත සුළු හෝ ගෘහ කර්මාන්ත වශයෙන් රටේ බොහෝ ප්‍රදේශ වල ව්‍යාප්ත ව තිබිණි. ප්‍රාදේශීය අවශ්‍යතා අනුව භාණ්‌ඩ නිපද වූ මෙම කර්මාන්ත වලට රාජ්‍ය අනුග්‍රහය ද නොමඳ ව ලැබිණ.

මේ සඳහා අවශ්‍ය ශිල්පීය පුහුණුව වැඩිහිටියන් විසින් එම කර්මාන්තයේ නිරත වන අතරම යෞවනයන්ට ද ලබා දෙන ලදී. පැරණි ලංකාවේ පැවති මෙම කර්මාන්ත විදේශීය ආක්‍රමණයන්ට හා යටත් විජිත පාලනයට නතු වීම හේතුවෙන් ක්‍රමයෙන් පිරිහී ගියේය. ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල පෘතුගීසි හා ලන්දේසි පාලනය යටතේ බීරළු ගෙතීම, කොහු කර්මාන්තය සහ රෙදි විවීම ආදී ගෘහ කර්මාන්ත පැවති නමුත් ඒවා දියුණු කිරීමට සිංහල රජුන් දවස මෙන් රජයේ අනුග්‍රහයක්‌ නොලැබිණි.

ශ්‍රී ලංකාව බි්‍රතාන්‍ය පාලනයට නතු වීමෙන් පසු දේශීය කර්මාන්ත ඉතා සීඝ්‍රයෙන් පරිහානියට පත්විය. බ්‍රිතාන්‍ය කාර්මික අතින් දියුණු, විශාල වශයෙන් කාර්මික භාණ්‌ඩ අපනයනය කළ රටකි. ඔවුන්ගේ භාණ්‌ඩ අලෙවිය සඳහා ශ්‍රී ලංකාවේ වෙළඳ පොළ අල්ලා ගනු පිණිස මෙහි දේශීය කර්මාන්ත පිරිහීමට ඉඩ හැරීය.

යටත් විජිත පාලනයේ ප්‍රතිපත්තිය වූයේ ද බ්‍රිතාන්‍යයේ කර්මාන්ත වලට අවශ්‍ය අමු ද්‍රව්‍ය මෙරටින් ලබා ගැනීමත්, බ්‍රිතාන්‍යයන් නිපදවූ භාණ්‌ඩ මෙරට අලෙවි කිරීමට සුදුසු පරිසරයත් ගොඩනැගීමය. ඔවුන්ගේ මෙම ප්‍රතිපත්තිය නිසා පරම්පරා ගණනක්‌ මුළුල්ලේ ගොඩ නැගී තිබුණු දේශීය කාර්මික සම්ප්‍රදාය අභාවයට පත් විය.

(c) Shilpa Sayura Foundation 2006-2017