ක්‍රි.ව.1798-1815
අගනගරය : සෙංකඩගල නුවර (පා.කා.අවු.17)
රාජාධි රාජසිංහ රජුට බිසෝවරු පස්‌දෙනෙක් වූහ. ඔවුන්ගෙන් අලමේලු අම්මා නම් පළමුවැනි බිසව ද රෙංගනායම් අම්මා නම් තුන්වැනි බිසව ද එක කුස උපන් සහෝදරියෝය. මේ බිසෝවරු දෙදෙනාට සහෝදරයෝ සත් දෙනෙක් සිටියහ. එනම් මුද්දුසාමි, බංගරුසාමි, කන්නසාමි, සින්නසාමි, අප්පුහාමි, අයසාමි, රාමසාමි යන්නහුය.
උපේන්ද්‍රම්මා, බිසවට කොණ්‌ඩසාමි හෙවත් ගම්පල නායක්‌කාර් නම් වූ සහෝදරයෙක් ද තවත් සහෝදරියක් ද වූහ. මේ සහෝදරියට කන්නසාමි නම් පුත්‍රයෙක් සිටියේය. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ද රාජාධි රාජසිංහ රජුගේ ද බන්ධුවරයෝ තවත් බොහෝ දෙනෙක් මෙකල මහනුවර වාසය කළෝය. මේ සියල්ලෝම පළමුකොට තෙළගු රාජ්‍යයේ වාසය කළ ජෙන්තු වර්ගයේ නායදු නම් වංශයට ඇතුළත් වූවෝය.
මේ වංශය පසු කාලයක මදුරාපුරය තන්ජෝරුව යන නුවර වල නායක්‌කාර් යන නමින් ප්‍රකට විය. ඒ ප්‍රදේශ වල මෑත කාලයේ රාජ්‍යය කළ රජවරු ද ලංකාවේ සිටි
නායක්‌කාර් වංශ වතුන්ගේ නෑයෝය. රාජාධි රාජසිංහ රජ තලමාට පුත්‍රයන් නොසිටි බැවින් තමාගෙන් පසු රජකමට මුද්දුසාමි කුමාරයා නියම කරගෙන උන්නේය.
නමුත් සිංහල ඔටුන්න නායක්‌කාර වංශයට උරුමව තිබෙන්නට නෑර පැහැර ගැනීමට පිළිමතලව්වේ පළමුවෙනි අදිකාරම් තැන උපාය සොයමින් සිටියේය. ඇරැව්වාවල දෙවෙනි අදිකාරම් තැනද දඹගමුවේ දිසාපති තැනද පිළිමතලව්වේ මහ නිලමෙට සතුරු වූහ. ඒ දෙදෙන පක්‌ෂ කරගන්ට උත්සාහ කරමින් සිටින අතර, රාජාධි රාජසිංහ රජු කාලක්‍රියා කෙළේය.
රාජ වංශයට අයිති නුවූ කෙනකු රජු කොට පිළිගන්ට වැසියන්\ගේ තුබුණු අප්‍රියතාව නිසාද නිලමෙවරුන්ගේ එක්‌සත් භාවයක් නැතිකම නිසාද නායක්‌කාර්වරුන් ප්‍රතික්‌ෂේප
කොට තමහට රජකම ලබාගන්ට මේ ප්‍රස්‌ථාවේ දී නුපුළුවන් බව දැන ඒ අදහස පසු කාලයක දී වත් ඉෂ්ට කරගැනීමට හැකිවන පරිද්දෙන් මෙතැන් පටන් කටයුතු කරන්න පිළිමතලාවේ අදිකාරම් තැන කල්පනා කෙළේය.
මෙදින රෑ නවයට පමණ රාජාධි රාජසිංහ රජු මිය ගියේය. ඒ රාත්‍රියේම මහ නිලමේ මල්වත්තේ අනුනායක හිමියන් සමඟ ද තමහට පක්‌ෂ වූ නිලමෙවරුන් කීප දෙනෙකුන් හා සමඟ ද සාකච්ඡා කරගත් පසු රජු මළ බව එළිදරව් නොකොට 'රජතුමෝ රෝගාතුරව සිටිත්ය. එම නිසා සෙංකඩගල නුවරට වහාම පැමිණෙත්ව' යි කියා ඒ ඒ දිසාවල දිසාපතිවරුන්ට ද රටේ මහත්වරුන්ට ද අවශේෂ ප්‍රධාන ජනයාට ද පණිවුඩ පත් යැවුයේය.
පසුවදා උදෑසන මහ නිලමේ උපේන්ද්‍රම්මා බිසවගේ සහෝදරියගේ පුත් වූ කන්නසාමි
කුමාරයා සිටි නිවසට ගොස් ඒ කුමාරයා හා සමඟ රහස් සාකච්ඡා පැවැත්වූහ. කන්නසාමි කුමාරයා වනාහි වයස අවු. 18 ක් වූ බුද්ධිමත් තරුණයෙකි. දීප්තිමත් ඇස් වලින් ද ප්‍රිය උපදවන අංග ප්‍රත්‍යාංගයන් ගෙන්ද යුක්‌ත වූයෙකි. අපූරු වූ රාජාංගයක් ද විස්‌තර කළ නොහැකි අන්දමේ තේජසක් ද ඔහු කෙරෙහි විද්‍යාමාන වූයේය.
පසු කාලයක ඔහුගේ ක්‍රියාව ගැන කල්පනා කරන කළ පුදුමයක් කොට සිතෙන නමුත් ක්‍රෑර ගතියක් හෝ දුෂ්ට ස්‌වභාවයෙන් කරුණාවන්ත හදවතක් ඇති සත් පුරුෂයකු බව ද කියැවේ. රටේ දිසාපතිවරු, නිලමේවරු විසින් සිරිත් ලෙස දියවඩන නිලමෙතුමාත් සළුවඩන නිලමෙතුමාත් කන්නසාමි කුමාරයා සිටි නිවසට ගොස් කුමාරයා සුවඳ පැනින් නහවා රාජාභරණ පළඳවා රාජකීය රන්සිවි ගෙයක වඩා හිඳුවා රජ මාලිගාවට වැඩම කරවූවෝය.
කුමාරයා මහවාසල් දොරටුව සමීපයේ දී රන්සිවි ගෙයින් බැස එම වාසල් දොරින්ම දළදා මාලිගාවට ප්‍රවිෂ්ටව දන්තධාතුන් අභිමුඛයෙහි දී පංචශීලයෙහි පිහිටා මල් පහන් පුදා නැවත පත්තිරිප්පුව ඉදිරිපිට පිට්‌ටනියේ රැස්‌ව සිට මුණින් වැටී අලුත් රජතුමාට
පිළිවෙලින් තුන්වර බැගින් නමස්‌කාර කොට නැවත දොහොත් මුදුන් තබාගෙන ඉදිරියට දණින් ගමන් කළෝය. අභිනව රජුට කඩු පළඳවන දවසේ දී ශ්‍රී වික්‍රම රාජසිංහ යන නාමය තබන ලද්දේය.
ශ්‍රී වික්‍රම රාජසිංහ වැසියන්ගේ සම්මතයෙන් රාජශ්‍රීයට පැමිණි නමුත් පළමු රජහුගේ අග මෙහෙසියගේ සහෝදරයෙක් වූ මුද්දුසාමි කුමාරයා ඔටුන්නට අයිතිවාසිකම් කියා සිටියේය. මේ කරණ කොට ගෙන මුද්දුසාමිගේ සහෝදර වූ බංගරුසාමි ද, රාමසාමි ද ඇපකාරයන් කොට මහනුවර නවත්වා මුද්දුසාමි ඒ සහෝදරයන් සතර දෙනාත් සමඟ කොළඹට ගොස් රාජ්‍යය ලබාගැනීම සඳහා ඉංග්‍රිසීන්ගෙන් උපකාර ඉල්ලා සිටියේය.
එසමයෙහි ඉංග්‍රිසීන් සිංහලයන් හා සමඟ යුධ කිරීමට නොකැමති වූ බැවින් මුද්දුසාමි සහ පිරිස යාපනයට ගොස් එහි වාසය කෙළේය. ඒ අතර පිළිමතලව්වේ අදිකාරම් තැන විසින් නඟන ලද චෝදනා අනුව රජුගේ මාමා වූ ගම්පළ නායක්‌කාර් හිරභාරයට ගන්නා ලද්දේය. මේ ගම්පළසාමිගේ දූවරුන් දෙදෙනකු මදුරාපුරෙන් පිටත්ව මහනුවරට එන අතර තමන් පියා සිරකරවන ලද බව මාතලේ දී දැනගන්නට ලැබී ආපසු යන්ට හැරුණු නමුත් අදිකාරම් ඔවුන් අල්වා බලාත්කාරයෙන් ගෙනවිත් රජුට
බාර දුන්නේය.
මේ කුමරියෝ දෙදෙන රජු විසින් විවාහ කරගන්නා ලද්දෝය. ඔටුන්නට අයිතිවාසිකම් කියා සිටි නායක්‌කාර් ගෙන් නිදහස් වූ නමුත් පිළිමතලව්වේ අදිකාරම්ට සතුරු වූ සිංහල නිලමේවරු තවමත් සිටියෝය. ඔවුන් අතුරෙන් ඇරැව්වාවල දෙවෙනි අදිකාරම් තැනද දඹගමුවේ දිසාපති තැන ද ප්‍රධාන වූහ. ඔවුන්ට විරුද්ධව රාජද්‍රෝහිකමක් ඔප්පු කරන්න නුපුළුවන් බව දැනගත් අදිකාරම් තැන ඒ දෙදෙන සොරුන් ලවා අතර මගදී මැරවූයේය.
ඇරැව්වාවල දෙවෙනි අදිකාරම වැසියන් විසින් ගරුකොට සලකනු ලැබූ කෙනෙකි. ඔහුගේ මරණය පිළිමතලව්වේ විසින් කරවන ලද බව දැන ඔහු කෙරෙහි බොහෝ නිලමෙවරුන්ගේ සිත් කළකිරුණේය. රජ තෙමේ නොබෝ කළකින්ම වැසියන්ගේ සිත් ගත්තේය. රජු කෙරෙහි වැසියන්ගේ පක්‌ෂකම නිසාද තමා කෙරෙහි නිලමෙවරුන්ගේ අප්‍රියතාව නිසාද පිළිමතලව්වේ අදිකාරමට තමාගේ පරමාර්ථය වූ රාජ්‍යය ලබා ගැන්ම උගහට බැවී පෙනී එය ඉෂ්ට කරගන්නා පිණිස ඉංග්‍රීසින්ගෙන් උපකාර ඉල්ලීමට අදහස් කෙළේය.
වර්ෂ 1797 දී ලංකාවේ මුහුදුබඩ පළාත් ඉන්දියා වෙළඳ සමාගම විසින් ඉංග්‍රීසි රාජාණ්‌ඩුවට බාර දුන් පසු වංශාධිපති පේද්‍රික් නෝර්ත් ආණ්‌ඩුකාර ධූරයට පත්ව එම අවුරුද්දේ ඔක්‌තෝබර් මස 12 වෙනි දින කොළඹට පැමිණියේය. පේද්‍රික් නෝර්ත් ආණ්‌ඩුකාර තැන ළඟට ගිය පිළිමතලව්වේ අදිකාරම් සිංහල රජු වැසියන්ට අප්‍රිය වූ දෙමළ වර්ගයට ඇතුළත් කෙනෙක් බව ද, ආණ්‌ඩුකාරයාගේ උපකාර ලැබුණොත් රජු මරවා තමා ඉංග්‍රීසින් යටතේ රජවීමට කැමති බව ද කීයේය.
යෝජනාව ගැන නෝර්ත් ආණ්‌ඩුකාරයා අප්‍රසන්නතාව හැඟ වූ පසු දෙදෙන වෙන්ව ගියෝය. එහෙත් අදිකාරම් තැන පසුබට වූ බවක් නොපෙනේ. මක්‌නිසාද මීට මාසයකට පසු හෙතෙම ආණ්‌ඩුවේ සෙක්‍රතාරිස් වූ බොයිඩ් හමු වී නැවතත් එම කාරණය ගැන කතා කෙළේය. මේ වතාවේ අදිකාරම් තැන වඩා පැහැදිලි ලෙස තමාගේ අදහස් එළිදරව් කරමින් මදුරාපුර නායක්‌කාර්වරුන් ලංකාවට කරදරකාරි පිරිසක් බව ද, තමා ස්‌වභාවයෙන්ම ඔවුන් නුරුස්‌නා බව ද ඔවුන් දුරුකොට සිංහල රජ පවුලක් නැවතත් සාදාගැනීම ඔහුගේ පරමාධ්‍යාශය බව ද ලාබාල බුද්ධිමත් නොවූ කන්නසාමි පන්නා දැමීමට ප්‍රයෝජනවත් ආකාර ගිවිසුමකට බැඳෙන්ට තමා කැමති බව ද කීයේය.
පිළිමතලව්වේ අදිකාරම රජකම බලාපොරොත්තුව සිටි හැම තැනැත්තෙක්‌ම කුමන්ත්‍රණය කොට මරා හෝ රටින් පිටමං කෙරෙව්වේය. තමාට රජකම ලබාගන්නට ඉංග්‍රීසින් පසු පස ගියේය. ඉංග්‍රීසීන් පසුපස ගියේය. ඉංග්‍රීසීන් හා සිංහල රජු අතර බේද ඇති කළේය. තමාගේ නියම සතුරන් බ්‍රිතාන්‍යයන් නොව තම නිලමේවරුන් බව ශ්‍රී වික්‍රමසිංහ රජුට පසුව අවබෝධ විය. පිළිමතලව්වේ රජු මරවන්නට කළ කුමන්ත්‍රණයක් එඛි වී 1812 දී ඔහු මරා දමන ලද්දේය.
ඉන්පසු ඇහැලේපොළ නිලමේ මහ අදිකාරම් තනතුරට පත්විය. පිළිමතලව්වේ කළාක් මෙන් ඇහැලේපොළ මහ අදිකාරම් ද ඉංග්‍රීසීන්ගෙන් උපකාර ලබාගන්නට සිතුවේය. රජතුමා ඇහැලේපොළ මහ අදිකාරම් තනතුරට පත්කිරීම ගැන මොල්ලිගොඩ නිලමේ
විරුද්ධ වී විවිධ අන්දමේ කුමන්ත්‍රණ කළෝය. රජුට කේලාම් කීවේය. එයට හේතු වූයේ පෞද්ගලික කෝන්තර හා එදිරිවාදිකම් ය.
මේ නිසා රජතුමාට ඇහැලේපොළ ගැන සැකයක් ඇති වී ඔහු රජකමට පත්වේ යැයි බියෙන් මද්දුම බණ්‌ඩාර කුමරු ඇතුළු ඇහැලේපොළගේ පවුල විනාශ කෙළේය. ඇහැලේපොළ අදිකාරම රජුගෙන් පළිගැනීමට ඉංග්‍රීසීන්ට එකතු වූයේ ඉන් පසුවය.
ඇහැලේපොළ ඉංග්‍රීසීන්ට එකතු වීමෙන් පසු රජු අදිකාරම් ගේ පවුල විනාශ කළාක් මෙන් තමාට විරුද්ධව සටන් කළ අයගේ පවුල් වලින් පමණක් නොව ඔවුන්ට සම්බන්ධව සිටි භික්‌ෂූන් වහන්සේලාගෙන් ද දරුණු ලෙස පළිගත්තේය.
මේ ක්‍රෑරකම් නිසා රට වැසියෝ රජුට එරෙහිව නැඟී සිටියෝය. රජතුමා මහනුවරින් පලා ගියේය. 1815 දී ඉංග්‍රීසීන් කන්ද උඩරට රාජධානිය අත්පත් කරගෙන ශ්‍රී
වික්‍රම රාජසිංහ රජු අල්ලාගෙන ඉන්දියාවට පිටුවහල් කළෝය. 1816 ජනවාරි 24 දින 'කොන්වලිස් නමැති නැවෙන් මඳුරාසියට යැවූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වෙල්ලෝර් නමැති කොටුවේ 17 වසරක් සිර ඳඬුවම් විඳ 1832 දී උදරාබාධයකින් මිය ගියේය.
