ක්‍රි.ව. 1780-1798
අගනගරය : සෙංකඩගල නුවර (පා.කා. අවු.18)
කීර්ති ශ්‍රී රාජසිංහ රජු ඇවෑමෙන් ඔහුගේ සහෝදර වූ කුමාරයෙක් රාජාධි රාජසිංහ යන නාමයෙන් රාජ්‍යය ලැබ අවුරුදු 18 ක් රාජ්‍යය කෙළේය. මේ කාලයේ දී ඉංග්‍රීසිහු ලංකාවේ මුහුදුබඩ පළාත් අත්පත් කරගැනීමට උත්සාහ කළ කාලයයි. ඔවුහු මෙසමයේ ඉන්දියාවේ මදුරාසිය ආදී නොයෙක් ප්‍රදේශ යටත් කරගෙන සිටියෝය.
ලංකාවේ ත්‍රිකුණාමලය වරාය ඕලන්දකාරයින්ගෙන් මුදවා ගෙන අල්වා ගැනීම ඉංග්‍රීසින් ගේ මූලික අරමුණ වී තිබිණ. එහෙයින් 1782 දී මදුරාසිය ආණ්‌ඩුකාර මැකා ඊට්‌නිසාමි සර් එඩ්වර්ඩ් හිවුස් නම් අද්මිරාල් තැන යටතේ යුද්ධ නැව් සමූහයක් ද සර් හැක්‌ටර් මන්රෝ නම් සේනාපති තැන යටතේ ගොඩ යුද්ධ හමුදාවක් ද ලංකාවට
එවුයේය.
ඒ සමඟම හිවුබොයිඩ් නම් අයෙකු රාජාධි රාජසිංහ රජු වෙත තානාපතියෙක් මෙන් එවන ලද්දේය. ඉංග්‍රීසිහු ලංකාවට පැමිණි වහාම ත්‍රිකුණාමලය අත්පත් කොට ගත්තේය. රාජාධි රාජසිංහ රජු විසි අවුරුද්දක් රාජ්‍යය කොට වර්ෂ 1798 දී කාලක්‍රියා කෙළේය. වර්ෂ 1782 දී සෙංකඩගල නුවරට තානාපතිව ගිය බොයිඩ් විසින් මේ රජුගේ රූපකාරය මෙසේ විස්‌තර කරන ලද්දේය.
'රජතෙමේ ප්‍රඥාවත් පෙනීමක් ඇති කළුපාට ලොකු පුරුෂයෙකි. සාමාන්‍ය දේහ ලක්‌ෂණ මෙනෙහි කරන කල අපේ අට වැනි හැන්රි රජ්ජුරුවන් මට සිහිවිය.' යනුයි. මාගධ සංස්‌කෘත ආදී භාෂාවන්හි ද සිංහල ශබ්ද ශාස්‌ත්‍රයෙහි ද දක්‌ෂ වූ මේ රජු අසදෘශ ජාතකය සිංහල නිරුක්‌තියෙන් කවි කොට ලීවේය. මෙසමයේ දී ප්‍රසිද්ධ කවිවරයෝ කීප දෙනෙක්‌ම උඩරට පාතරට දෙකෙහිම ජීවත්ව සිටියෝය. රාජාධි රාජසිංහ රජු බොහෝ කොටම කවිවරයන්ගේ ආශ්‍රයෙන් කාලය ගත කෙළේය.
