ක්‍රි.ව.1634-1684
අගනගරය : සෙංකඩගල නුවර (පා.කා.අවු.50)
සෙනරත් රජු ඇවෑමෙන් ඔහුගේ පුත් දෙවෙනි රාජසිංහ සෙංකඩගල නුවර රජවිය. පිය රජුගේ නියමය පරිදි ඌව පළාත සහ මාතලේ පළාත කුමාරසිංහය, විජයපාලය යන නම් වූ රාජසිංහගේ සහෝදරයන් දෙදෙනාට අයත් විය. මේ තුන් බෑ රජ දරුවෝ පළමු කොට සමඟිව රාජ්‍යය කළෝය. රාජසිංහ රජු ප්‍රතිකාලුන් හා සමගි සමාදානයෙන් කල්යවන අතර සෙංකඩගල නුවර වාසය කළ එක් පෘතුගීසියෙකු රජුට ඉතා අනර්ඝ අශ්වයකු සතුටු පඬුරු කොට දුන්නේය.
ඉන් කලකට පසු ඔහු සිය රටට යෑමට රජුගෙන් අවසර ගන්ට ගිය කල්හි රජු ඔහුට මැණික් හා අනර්ඝ ඇතෙක් ද පරිත්‍යාග කෙළේය. මේ තෑගි නිසා සතුටට පත් ඔහු ඇතාද රැගෙන කොළඹට පැමිණියේය. එලක කොළඹ ආණ්‌ඩුකාර දීගුද මේලෝ ඇතා කෙරෙහි ආශාවෙන් එම පෘතුගීසි නිලධරයාගෙන් ඇතා පැහැර ගත්තේය. එවිට පෘතුගීසි සෙනෙවියා නැවතත් නුවරට ගොස් තමහට කරන ලද අපරාධය රාජසිංහ රජුට සැළකර සිටියේය.
රජු ඔහුට වෙන ඇතෙකු දී හලාවතින් නැවී නැගී සියරටට යන්ට පිටත් කෙළේය.
රාජසිංහ රජු අශ්වයන් කෙරෙහි ආශා ඇත්තෙකැයි සිතා දීගුද මේලෝ අනර්ඝ අශ්වයන් දෙදෙනෙක් මිලයට ගෙන සෙංකඩගල නුවරට විකිණීම පිණිස ඇරියේය. තණ්‌හාධික ආණ්‌ඩුකාරයාට රිදවන්නට මෙය අවශ්ථාවක් කරගත් රජු කල්පනා කොට අශ්වයන් දෙදෙනා පැහැර ගන්නා ලෙස රාජපුරුෂයන්ට අණ කෙළේය. එ සේ කරන ලද කල්හි මහනුවර සිටි පෘතුගීසි ගොන්සල් තැන ඒ ගැන රජු වෙත පැමිණිලි කෙළේය.
රජතුමා උත්තර දෙමින් පෘතුගීසි ආණ්‌ඩුකාර තැන කොල්ලකාගත් ඇතා මෙහි එවූ කල්හි අශ්වයෝ දෙදෙන භාර දෙන බව පැවසීය. දීගුද මේලෝ ඒ බව අසා බොහෝ සේ කිපී මහනුවර රජු විසින් ඒ අශ්වයන් වහා නොඑවුවොත් තමාම ගොස් උන් ගෙන යන බව රජුට කියා යැවුවේය. රජු කෝපයට පත් නොවී ප්‍රතිකාල් ආණ්‌ඩුකාර තැනම මෙහි අවුත් අශ්වයන් ගෙන යාමට ඇති කිසි බාධාවක් නැතැයි කීය. නමුත් ප්‍රතිකාල් ආණ්‌ඩුකාරවරයා අශ්වයන් ගෙන යන්ට එන කළ ඔහු විසින් කෝලකන ලද ඇතා ද ගෙන එන්ට ඕනෑ යයි කියා හැරියේය.
අශ්වයන් දෙදෙනා නැති වීමෙන් වූ අලාභය ද ලැජ්ජාව ද ප්‍රතිකාලුන්ගේම සිනාසීම ද ඉවසිව නොහැකිව දීගුද මේලෝ ආණ්‌ඩුකාර තැන කෝපයට පත්ව රාජසිංහ රජුට විරුද්ධව යුද්ධයක් ආරම්භ කෙළේය. මේ අවශ්ථාවේ රාජසිංහ රජුට උපකාර
පිණිස ඌව පළාතේ කුමාරසිංහ රජු 10,000 පමණ හේවායන් සමඟ යුද්ධයට සැරසී සිටියේය. ප්‍රතිකාල් සේනාව බලන නම් කන්ද මුදුනේ කඳවුරු බැඳගෙන සිටියේය.
'රාජසිංහ රජු දීගුද මේලෝ වෙත කුරුසියක් දී දේව ගැතියකු යවා ඔබ අදහන්නා වූ ඔබ නිසා මැරුණා වූ ඔබේ දෙවියන් වහන්සේ සෙංකඩගල රජුගේ රාජ්‍යය පැමිණීම තහනම් කරන්නේය. ඔබ ආපසු හැරී නොගියහොත් ඔබේම දෙවියෝ දඬුවම් කෙරෙත්ය' යි කියා යැවුවේය. ප්‍රතිකාල් ආණ්‌ඩුකාර තැන මේ පණිවුඩය ලැබ තවත් කෝපව සේනාව ගෙන කන්දෙන් බැස ඒ අසල දොළක් සමීපයට පැමිණියේය. එකල්හි සීංහල සේනාවෝ කැලෑවේ සැගව සිට කළ පහරදීම් හේතුවෙන් දීගුද මේලා බිය වී සමාදානයට කැමති බව කියා රජුට පණිවුඩකාරයකු යැවුයේය.
නමුත් රජු ඒ ගැන කිසි පිළිතුරක් නොදී යුධ කෙළේය. යුද්ධය අවසාන වූ පසු ප්‍රතිකාලුන් තිස් තුන් දෙනෙක් පමණක් යුද භුමියෙහි ඉතිරි විය. ආණ්‌ඩුකාර තැනගේ මෘත ශරීරය සිංහලයන් විසින් සොයන ලද නමුත් හමු නොවීය. නොමැරී සිටි ප්‍රතිකාල්වරු සිරකාරයන් මෙන් ඌවට ගෙන යන ලද්දෝය.
මේ සිරකාරයෝ ටික කලකට පසු කුමාරසිරි රජු විසින් රහසින් නිදහස් කොට හරින ලද්දෝය. නමුත් රාජසිංහ රජු විසින් එයින් 18 දෙනෙක් ගමන් මාර්ගයේ දී අල්වා මරවන ලද්දෝය. ඉක්‌බිති රජු කුමාරසිංහ රජු සැකකොට යුද්ධ ප්‍රකාශ කොට ඌව රාජධානිය ආක්‍රමණය කරන අතර වාරේ කුමාරසිංහ රජු ප්‍රතිකාල්වරුන්ගේ උපකාර බලාපොරොත්තුවෙන් කොළඹ පැමිණි පසු ප්‍රතිකාල් අධිපතිහු සාකච්ඡා කොට ඒ කුමාරයා ලිස්‌බන් නුවරට යැවුවෝය. තමාගේ රාජ්‍යය ලබාගැනීමට ප්‍රතිකාලුන්ගෙන් උපකාර බලාපොරොත්තුවෙන් කුමාරසිංහ රජු ක්‍රිස්‌තියානි ආගම වැළඳගෙන බෞතීස්‌ම ලැබුවේය.
එ සේ ද වුවත් මේ අවාසනාවන්ත රාජ කුමාරයා ප්‍රතිකාලුන්ගෙන් කිසි උපකාරයක් නොලැබ අවුරුදු කීපයක් ජීවත්ව සිට ලිස්‌බන් නුවරදීම මියගියේය. පෘතුග්‍රීසීන් ලංකාවේ සිටියහොත් නිතර වියවුල් ඇතිවිය හැකි බව මෙනෙහි කළ රාජසිංහ රජු ඔවුන් රටින් නෙරපා දමනු සඳහා ඕලන්දකාරයින්ගෙන් උපකාර ඉල්ලා සිටියේය. ඉන්පසු ඕලන්දකාරයෝ ද මහනුවරට තානාපතින් එවුවෝය. මේ සබදකමින් අනතුරුව
පෘතුග්‍රීසින් ලංකාවෙන් පන්නා දැමීමේ අදිටනින් දෙපාර්ශවයම ගිවිසුමකට බැඳුණෝය.
ලංකාවේ වෙළඳාම් කිරීමට ඕලන්දයින්ට හැර යුරෝපීය අවශේෂ ජාතීන්ට අවසර නොදෙන ලෙසද දෙපක්‌ෂය විසින් මේ අනුව ගිවිස ගන්නා ලද්දේය. මෙම ගිවිසුම ප්‍රකාර වර්ෂ 1639 යේ දී වෑස්‌ටර් වෝල්ඩ් නම් ඕලන්දකාර අද්මිරාල් තැන විසින් මඩකලපුව යටත් කරගන්නා ලද්දේය. ඉන්පසු ඔහු ත්‍රිකුණාමලය කොටුවද වටලෑවීය. වර්ෂ 1640 දී මීගමුව සහ ගාල්ල ද ඕලන්දකාරයින් විසින් අල්ලා ගන්නා ලදී.
වර්ෂ 1646 දී ඕලන්දකාරයින් හා පෘතුගීසින් අතර සමාදානයක් පවත්වන ලදුව යුද්ධය කලක් නැවතී තිබුණේය. මේ අතර ඕලන්දකාරයින් හා සිංහල රජු අතර නොමනාපකමක් ඇතිවිය. රජු ඕලන්දකාරයින්ගේ අවංක කම ගැන සැක කරන්නට පටන්ගෙන ප්‍රතිකාලුන්ට පක්‌ෂ වීම වඩා හොදයයි සිතා කලක් මධ්‍යස්‌ථව සිටියේය. නමුත් ප්‍රතිකාලුන් පිටවහල් කිරීම මිස රට අත්පත් කරගන්නා අදහසක් නැති බව ද යුද්ධය කෙළවර වූ පසු බලකොටු සියල්ලම රජුට භාර දී තමන් සියරටට යන බව ද මාන්සූකර් නම් ඕලන්දකාර තැන දිවුරුම්පිට කියා සිටි බැවින් රාජසිංහ රජු ඕලන්දකාරයින්ට ආධාර විය.
1656 දී රජුගේ සෙනඟ හා ඕලන්දකාරයෝ කොළඹ වටලා ගත්හ. එයින් පීඩාවට පත් වූ පෘතුගීසීන් සත්මසකට පසු ඕලන්දකාරයින්ට කොටුව බාර දුන්නේය. රාජසිංහ රජු ගිවිසුම අනුව තමන්ට කොළඹ කොටුව භාරදෙනු ඇතැයි විශ්වාසයෙන් කොළඹ සමීපයේ නැවතී සිටිය නමුත් ගිවිසුම ප්‍රකාර ක්‍රියාකරන අදහසක් ඕලන්දකාරයින්ට නැති බව දැනගත් කල්හි තමන්ගේ හමුදාවත් සමඟ මහනුවරට ගියේය. කොළඹ සහ මීගමුව ගිවිසුමේ ප්‍රකාර භාරදෙන ලෙස ඉල්ලා රාජසිංහ රජු ඕලන්දකාර සේනාපති තැනට හසුන් කීපයක් යවන ලද බව ද ඉන් එක් හසුනක පහත දක්‌වන වාක්‍යය අන්තර්ගත වූ බව ද කියා තිබේ.
එනම්: "දෙවියන් නොදන්නා වූ ද තමන්ගේ පොරොන්දු කඩ කරන්නා වූ ද මනුෂ්‍යන්ට තමන්ගේ ක්‍රියාවල අනිෂ්ට විපාක යම්කිසි කලක දී ප්‍රත්‍යක්‌ෂ වන්නේය" යනුයි. කොළඹ කොටුව ඕලන්දකාරයින්ය භාර වූ පසු එය ආරක්‌ෂාවට සිටි ප්‍රතිකාල් හේවායෝ 190 දෙනෙක් නාග පට්‌ටනමට ගියෝය. පසුව යාපනය ආරක්‌ෂා කරන පිණිස ඔවුහු නෑවතත් ලංකාවට එවන ලද්දෝය. වර්ෂ 1658 දී ඕලන්දකාරයෝ යාපනය ද අත්පත් කොට ගත්තෝය.
ප්‍රතිකාලුන්ගේ ලංකාද්වීපයේ සංචාරය මෙයින් කෙළවර විය. ප්‍රතිකාල්වරු වසර 150 ක් පමණ කාලයක් ලංකාවේ රැදී සිටියහ. ඔවුන් ඒ කාලය මුළුල්ලේම සිංහල රජවරුන් හා යුද්ධයෙහි යෙදී සිටි බැවින් ඔවුන්ගෙන් නිසි ප්‍රකාර ආණ්‌ඩුවක් මෙහි නොපැවැත්තේය. ඔවුහු රටවැස්‌සන්ගේ අභිවෘද්ධිය සඳහා කිසිවක් නොකළෝය.
ලංකාවෙන් උපදවා ගත හැකිව තිබූ ප්‍රයෝජන ද නොදැන සිටියෝය. මෙරට වැස්‌සන් රෝමානු කතෝලික භක්‌තියට හරවා ගැන්ම ඔවුන්ගේ පරමාරථයන් අතර ඉදිරියෙන් තුබුණේ යයි සිතිය හැකිය. ඔවුන්ගේ අධර්මිෂ්ඨකම් නිසා ලාංකිකයෝ ඔවුන් කෙරෙහි අප්‍රිය වූහ. එය ඔවුන්ගේ පිරිහීමට හේතු විය.
රුබේරුගේ ඉතිහාස ප්‍රකරණයෙහි කියා තිබෙන හැටියට මෙහි පහත නම් පෙනෙන ප්‍රතිකාල් ආණ්‌ඩුකාරවරු ලංකාවෙහි සිටියහ.
1. පේද්‍රෑ ලෝපැස් ද සෞසා
2. ජැරොනීමෝ ද අසවේදු
3. ප්‍රැන්සිස්‌කු ද මිනේසස්
4. මනුවෙල් මස්‌කරඤඤස් හෝමෑන්
5. නුඤ්ඤා අල්වේරිස් පෙරේරා
6. කොන්ස්‌තන්තීනුද සා
7. ජෝර්ජ් ද අල්බුකර්ක්
8. කොන්ස්‌තන්තීනුද සා දෙවෙනි වර)
9. ජෝර්ජ් ද අල්මේදා
10. දීගුද මේලෝ
11. අන්තෝනි මස්‌කරඤඤ්ස්
12. පිලිප් මස්‌කරඤඤස්
13. මනුවෙල් මස්‌කරඤඤස්
14. ප්‍රන්සිස්‌කු ද මේලෝ ද කස්‌ත්‍රෝ
15. අන්තෝනි ද සෞසා කුටිඤෙඤ
16. අන්තෝනි ද ඕමරල් මැතෙසෙස් (යාපනේ)
