පස්‌වන විජයබාහු
 

ක්‍රි.ව.1527-1534
අගනගරය : කෝට්‌ටේ (පා.කා.අවු.07)

ධර්ම පරාක්‍රමබාහු රජු ඇවෑමෙන් ඔහුගේ සහෝදර වූ පස්‌වෙනි විජයබාහු කෝට්‌ටේ රජවිය. මේ කාලයේ දී ප්‍රතිකාල්වරු කොළඹ කොටුව සවි කොට බැඳ ගෙන රට වැසියන්ගේ වස්‌තුව පැහැර ගනිමින් රටේ නොයෙක්‌ බලාත්කාරකම් කළෝය. සිංහල රජු මුස්‌ලිමුන් විසින් පොළඹවන ලදුව 20,000 ක්‌ පමණ වූ සේනාවක්‌ යවා කොළඹ වට ලෑවූවේය. ප්‍රතිකාල්වරු මහත් දුකට පත්විය.

ආහාර හිඟවීම නිසා සාදුකින් පෙළුණෝය. ඉක්‌බිති කොවීන් නම් නගරයේ සිට කොළඹ වරායට පැමිණි ප්‍රතිකාල් නැවකින් ඔවුන්ට ආධාර ලැබුණේය. ඉන්පසු සේනාපත් තැන හේවායන් 300 ක්‌ පිරිවරාගෙන කොටුවෙන් පිටතට ගොස්‌ සිංහල සේනාව පලවා හැරියේය. පස්‌වෙනි විජයබාහු රජුට පළමු බිසවකගෙන් උපන් භුවනෙකබාහු, රයිගම්බණ්‌ඩාර, මායාදුන්නේ නමින් පුත්‍රයින් තිදෙනෙක්‌ වූහ.

රජතුමා තමාගේ දෙවෙනි බිසවකගේ සහෝදරයකුට රජකම හිමිකර දෙන්ට උත්සාහ කළ බැවින් පුතුන් තිදෙනා විරුද්ධව සිටියෝය. රජ තෙමේ පුත්‍රයන් මරවන්ට අදහස්‌ කෙළේය. ඒ බව දැනගත් පුත්‍රයෝ නුවරින් සැඟවී ගොස්‌ ගම්පළ රජ කළ ජයවීර බණ්‌ඩාර නම් රජකුගේ උපකාර ඇතුව යුද්ධ සේනාවක්‌ ගෙන ගොස්‌ කෝට්‌ටේ අල්වාගෙන මිනිසකු ලවා ඒ රාත්‍රියේම පිය රජහු මැරවූහ. පසුව දා වැඩිමහල් පුත් වූ භුවනෙකබා කුමාරයා රාජ්‍යශ්‍රීයෙහි පිහිටුවන ලද්දේය.

(c) Shilpa Sayura Foundation 2006-2017