දෙවෙනි පරාක්‍රමබාහු
 

ක්‍රි.ව.1250-1285
අගනගරය : දඹදෙණිය (පා.කා. අවු. 35 යි)

තුන්වෙනි විජයබාහු රජුගේ මරණින් පසු ඔහුගේ පුත්‍ර වූ කාලිකාල සාහිත්‍ය සර්වඥ පණ්‌ඩිත යන නමින් ප්‍රසිද්ධ වූ දෙවෙනි පරාක්‍රමබාහු රාජ්‍යශ්‍රීයට පැමිණ තිස්‌පස්‌ අවුරුද්දක්‌ රාජ්‍යය කෙළේය. මේ රජු ඒ ඒ තැන කඳවුරු බැඳ බලාත්කාරකම් කරමින් සිටි දෙමළ සේනා මරවා ත්‍රිසිංහලය එක්‌සත් කොට ගත්තේය.

මේ රජු රාජ්‍යශ්‍රීයට පැමිණි එකොළොස්‌ වෙනි වර්ෂයේ දී චන්ද්‍රභානු යයි ප්‍රසිද්ධ ජාවක රටේ රජෙක්‌ ජා හමුදාවක්‌ ගෙන ලංකාවට පැමිණියේය. මේ ජා හේවායෝ දුටු දුටු ජනයා පෙළමින් රට වනසන කල්හි පරාක්‍රමබාහු රජු තමන් බෑන වූ වීරබා නම් කුමාරයකු ජාවුන් සමඟ යුධයට යැවුවේය. වීරබා කුමරු ජා හමුදාව පරාජය කොට
ලංකාවෙන් නෙරපුයේය.

පණ්‌ඩිත පරාක්‍රමබාහු රජු ලංකාවේ බොහෝ වෙහෙර විහාර කෙරෙවුවේය. වැව් බැන්දවූයේය. සමන්කුට පර්වතයට වන්දනාව පිණිස යන්නවුන්ගේ පහසුව පිණිස මනා වූ මාර්ගයක්‌ ද, බෙන්තොට පටන් කළුතොට දක්‌වා යොදුනක්‌ පළල් පොල් උයනක්‌ ද, බොහෝ තැන්වල පාලම් ද කරවූයේය.

(c) Shilpa Sayura Foundation 2006-2017