පළමුවැනි ජයබාහු
 

ක්‍රි.ව.1120-1121
අගනගරය : පොළොන්නරුව (පා.කා. අවු.01 යි)

විජයබාහු රජු මළ බව රුහුණු රට වාසය කළ ඔහුගේ පුත්‍ර වික්‍රමබාහු කුමාරයාට නොදන්වා මහාමාත්‍යයෝ එක්‌ව කුමන්ත්‍රණය කොට රජුගේ සහෝදර වූ ජයබා නම් යුව රජහට රාජාභිෂේකය දී මාණාභරණ නම් කුමරු උපරජ තනතුරෙහි පිහිටවූයේය. ඉක්‌බිති ජයබා රජු හා මාණාභරණ යුව රජ යන දෙදෙනා සේනාව ගෙන වික්‍රමබාහු කුමාරයා අල්වා ගනු පිණිස පොළොන්නරුවෙන් නික්‌මුණෝය.

වික්‍රමබාහු කුමාරයා ද පිය රජු මළ බව හා ජයබා ආදීන්ගේ යුද්ධාරම්භය ද දැන සේනාවන් සමඟ රුහුණු රටින් නික්‌ම අතර මඟදී ජයබා රජු හා යුධ කළේය. ජයබා රජු සටන් කීපයකින්ම පැරදී දකුණු පළාතට පලා ගියේය. වික්‍රමබාහු කුමාරයා පොළොන්නරුව අත්පත් කරගත්තේය.

මාණාභරණ කුමාරයා රුහුණ ද, දක්‌ෂිණ ප්‍රදේශය ද අත්පත් කොටගෙන තමන් සහෝදර වූ කිත්සිරිමේ කුමාරයාට දොළොස්‌ දහස්‌ නම් රට දී මානාසුල නම් නුවර වාසය කරවා සිරිවල්ලභ නම් සහෝදරයාට අටදහස්‌ නම් රට දී උඳුන්දොර නම් ගම වාසය කරන්ට නියම කොට ඔහු සෙනඟ ගෙන දක්‌ෂිණ ප්‍රදේශයට ගොස්‌ පීළගම වාසය කරමින් ඒ ප්‍රදේශය අනුශාසනා කළේය. ජයබා රජ කිත්සිරිමේ කුමාරයා සමීපයෙහි වාසය කොට එහිදී මළේය.

(c) Shilpa Sayura Foundation 2006-2017