ක්‍රි.ව.1001-1037
අගනගරය : අනුරාධපුරය සහ කපුගල් නුවර (පා.කා. අවු. 36 යි)
පස්‌වෙනි සේන රජු ඇවෑමෙන් ඔහුගේ සහෝදර වූ පස්‌වෙනි මිහිඳු කුමාර තෙමේ රාජාභිෂේක ලැබ අනුරාධපුරයෙහි වාසය කෙළේය. ඔහුගේ අයුතුකම් නිසා ජනපද වැස්‌සෝ අය බඳු නුදුන්හ. වස්‌තු හීන වූ ඒ රජුට වැටුප් දීමෙන් සේනාව රක්‌ෂා කරන්නට නොහැකි විය.
පඩි නොලත් කේරළයන් එක්‌ව අවුත් රජගෙය වටලා සිටගත් කල්හි රජ තෙමේ උමගකින් පිටත්ව රුහුණු රටට පලා ගොස් සීදප පබ්බත නම් ගමෙහි විසීය. පසුව කසුප් නම් පුත්‍රයකු ලැබ කපුගල් නම් ගම නුවරක් කරවාගෙන රුහුණු රට රාජ්‍යය කෙළේය.
ඉක්‌බිති එ තෙරින් ආවා වූ අස් වෙළෙන්දකු විසින් පුවත් දැන ගොස් සොළි රජුහට දන්වන ලදුව ඒ රජු තෙමේ ලංකාව අත් කරගනු රිසියෙන් බල සෙනඟක් මෙහි එවීය. සොළීහු ගොඩබට තැන් පටන් ජනයා පෙලමින් රුහුණට පැමිණ රජු අල්වාගෙන රජු ද, බොහෝ වස්‌තුව ද සොළි රජු කරා යැවූහ. ඉන්පසු සොළි අධිපතියෙක් පොළොන්නරවෙහි වෙසෙමින් පිහිටි රට ආණ්‌ඩු කෙළේය.
රට වැස්‌සෝ කසුප් කුමාරයා රුහුණට ගෙන ගොස් ආරක්‌ෂා කළෝය. ඔහු අල්වා ගන්නා පිණිස සොළී මහ ඇමතියෝ රුහුණු රට ඔබ මොබ කැලඹූහ. ඉක්‌බිති ඒ රට වැස්‌සෝ යුධ කොට සොළීන් මරා ඉතිරි වූවන් රුහුණු රටින් නෙරපූහ. සොළීන් විසින් ගෙන යන ලද මිහිඳු රජතෙම දොළොස් අවුරුද්දක් චෝළ මණ්‌ඩලයෙහි වාසය කොට ඔටුණු පැළදි අටසාලිස් වන්නෙහි කාලක්‍රියා කළේය.
කසුප් කුමර තෙම රුහුණෙහි රාජ්‍යය කරනුයේ දොළොස් හැවිරිදි වයස්‌හිදිම වාත රෝගයකින් මළේය. ඉක්‌බිති සෙනෙවිරත් තනතුරෙහි සිටි කීර්ති නම් ඇමතියෙක් අට දිනක් රට ආණ්‌ඩු කළේය. මහාලාන කීර්ති නම් කුමාරයෙක් ඔහු මරා අභිෂේක ලැබ තුන් අවුරුද්දක් රුහුණු රට රාජ්‍යය කොට සොළී යුධයෙහි දී පැරද සිය අතින් සිය හිස සිඳගෙන මළේය.
විකුම්පඬි යයි ප්‍රසිද්ධ රජ කුමාරයෙක් කළුතොට වෙසෙමින් අවුරුද්දක් රාජ්‍යය කෙළේය. එකල රාම ගෝත්‍රයෙහි උපන් ජගත්පාල නම් රාජපුත්‍රයෙක් අයෝධ්‍යා පුරයෙන් අවුත් ඒ විකුම්පඬි රජු මරවා තෙමේ සතර අවුරුද්දක් රට ආණ්‌ඩු කෙළේය. සොළීහු යුධකොට ඔහු මරා දියණියන් හා බිසව සොළී රට යැවූහ. ඉක්‌බිති පඬි රජු පුත් පැරකුම් නම් රජු දෑවුරුද්දක් රාජ්‍යය කළ පසු සොළීන් විසින් හෙතෙමේ ද මරන
ලද්දේය.
