මාණවම්ම
 

ක්‍රි.ව. 691-726
අගනගරය : අනුරාධපුරය (පා.කා. අවු. 35 යි)

මේ තෙම දෙවෙනි කාශ්‍යප රජුගේ පුත්‍රයෙකි. හෙතෙම මලය රජුගේ දියණි වූ සංඝා නම් කුමරියක්‌ ලැබ උතුරු පළාතේ සැඟවී වාසය කෙළේය. එකළ රජකළ දඨොපතිස්‌ස රජු ඒ බව දැනගත් කල්හි ඒ කුමාරයා දඹදිවට පලාගොස්‌ නරසීහ නම් රජෙකුගේ ආරක්‌ෂාව යටතේ පැමිණ දාඨොපතිස්‌ස රජු විසින් පරාජය කරන ලදුව නැවතත් දඹදිවට පලා ගියේය. මින් බොහෝ කලකට පසු හත්ථදාඨ නම් රජු ලංකාවේ රාජ්‍ය කරන සමයෙහි නරසීහ රජු විසින් දෙන ලද යුද්ධ සේනාවක්‌ හා නැවතත් මෙහි ගොඩබැස අනුරාධපුරයට ආයේය.

පොත්ථකුට නම් අමාත්‍යයාද හත්ථදාඨ රජුද පලා ගියෝය. දනව් වැස්‌සෝ පලායන්නා වූ හත්ථකුට රජු දැක ඔහුගේ හිස කපා මාණවම්ම කුමරුහර දැක්‌වූහ. පොත්ථකුට තෙම පලාගොස්‌ මේරු කන්දර නම් දනව්වෙහි තමනට යහළුව සිටි ප්‍රධානියකුගේ ගෙදරට ගියේය.

ඒ ප්‍රධානියා තමා වෙත සරණ සොයා ආ මිත්‍රයකු පාවාදීම අයුතු බව ද ආරක්‌ෂා කිරීම අන්තරාය සහිත බව ද කල්පනාකොට විෂ සහිත කැවුමක්‌ කා මළේය. එකල්හි පොත්ථකුට තෙමේද විෂ කා මළේය. ඉක්‌බිති මාණවම්ම කුමාරයා ලංකාව නිරවුල් කොට ගෙන තිස්‌පස්‌ අවුරුද්දක්‌ දැහැමින් රාජ්‍යය කෙළේය.

(c) Shilpa Sayura Foundation 2006-2017