අට්ටවාල (Purlins) අතුරු යටලීය
 මුදුන් යටලීය හා බිත්ති යටලීයට අතර මැදි ව (Intermediate) පිහිටි තිරස් දැවය, අතුරු යටලීය හෙවත් අට්ටවාලය ලෙස හඳුන්වයි. බිත්ති අතර පරතරය ක්‍රමයෙන් වැඩිවන විට මුදුන් යටලීයේ සිට අගුව දක්වා දිවෙන පරාලවල දිග ද ඊට අනුරූප ව වැඩි වේ.

සමහර විට එතරම් දිගැති පරාල සොයා ගැනීම දුෂ්කර වුවද වහලයේ සෙවිලි ද්‍රව්‍යවල බර නිසා ඒවා බොකු ගැසීමට හෝ වක (Sag) ගැසීමට ඇති ඉඩකඩ බොහෝ ය. මෙම දුර්වලතාව මර්දනය කර ගැනීම සඳහා අතුරු යටලී යුගලයක් ආදේශ කළ හැකි ය.

එවිට දිගු පරාල ඒ මත රඳවා තබා ගත හැකි ය. අතුරු යටලී රැඳවීම සඳහා බෙදුම් බිත්ති, බාල්ක/ තලාඳ සමඟ කුරුපා හෝ කාප්ප යොදා ගත හැකි ය. අට්ටවාල යටලීවල හරස්කඩ මිනුම 125 mm × 100 mm හෝ 125 mm × 75 mm වේ. පරාල අට්ටවාල සමඟ සම්බන්ධ වන්නේ තනි හෝ ද්විත්ව දැති මූට්ටුවෙනි. (Single or double cogged joint)
(c) Shilpa Sayura Foundation 2006-2017