කොන්ක්‍රීට් පදම් කිරීම (මිහි කිරීම) (Curing)
  කොන්ක්‍රීට් දැඩි වීම සිදුවන්නේ සිමෙන්ති හා ජලය අතර සිදුවන රසායනික ප්‍රතික්‍රියාව හේතුවෙනි. හොඳින් පදම් කළ කොන්ක්‍රීට් ඉතා ශක්තිමත් ය. වැරගැන්වුම් යෙදූ කොන්ක්‍රීට් විශාල භාරයන්ට ඔරොත්තු දෙයි. අඩු හැකිලීමේ ස්වභාවයක් පෙන්නුම් කරයි. ගින්නට ඔරොත්තු දෙන අතර, කල් පැවැත්ම ද ඇති කරයි.

දිගු කාලීන හා කාර්යක්ෂම පදම් කිරීමක් අවශ්‍ය වුවත් ප්‍රායෝගිකව එළැඹි නිගමනයන් ලෙස දින 7 සිට 14 දක්වා කාලයක් සඳහා පදම් කිරීම ප්‍රමාණවත් නමුත්, විශාල ඉදිකිරීම්වල දී පදම් කාලය දින 21 සිට 28 දක්වා සිදු කළ යුතු වේ.

මෙම පදම් කිරීමෙන් අපේක්ෂා කරන්නේ එය ඇති තරම් තෙතමන ගතියෙන් පවත්වා ගැනීම ය. සංඝාටනයට බඳුන් කිරීමෙන් (Consolidations) පසු කොන්ක්‍රීටය තෙත ගොණියකින් ආවරණය කිරීම, තෙත් වූ වැලි හෝ ලී කුඩු ඒ මත විසිරීම හෝ ඒ මත ජලය විසිරීම කරනු ලබයි.

කොන්ක්‍රිටයේ බාහිර පෘෂ්ඨ වායුගෝලයට නිරාවරණය වීමෙන් ඉක්මනින් එහි ඇති තෙතමන ගතිය ඉවත් වේ. නමුත් ඒ හා සමාන ව එහි අභ්‍යන්තරයේ තෙතමනය ඉවත් වීම සිදු නොවේ. බාහිර පෘෂ්ඨයේ උෂ්ණත්වය වැඩි නිසා එය ඉක්මනින් හැකිලීමකට බඳුන් වී පිපිරීම් ආදියට ගොදුරු විය හැකි ය. උෂ්ණත්ව වෙනසක් නොවන අයුරුන් බාහිර පෘෂ්ඨය පවත්වා ගෙන යන්නේ මේ තත්ත්වය වළක්වා ගැනීමට ය.

ඒ අනුව කොන්ක්‍රීටයේ ශක්තිය උපරිම ලෙස ලබා ගත හැකි වේ. මෙසේ බාහිර පෘෂ්ඨය තෙත්ව තබා ගැනීමේ ක්‍රියාවලිය කොන්ක්‍රීට් පදම් කිරීම ලෙස හැඳින්වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017