රළුගල් බැමි නිර්මාණයේ දී සැලකිය යුතු කරුණු
 * කළු ගලින් අත්තිවාරමක් ඉදිකිරීමේ දී පැතැලි පැත්ත අත්තිවාරම් පතුළට සමාන්තර ව පිහිටුවිය යුතු වේ. මන්ද? ගොඩනැගිල්ලේ භාරය අත්තිවාරම හරහා පොළොවට සම්ප්‍රේෂණය වීමේ දී පොළොව හා ගැටෙන වර්ගඵලය වැඩි වීමෙන් පොළොව මත යෙදෙන පීඩනය අඩු කළ හැකි වේ.

* අත්තිවාරම පතුලට කළුගල් එළීමේ දී හැකි සෑම අවස්ථාවක දී ම අත්තිවාරමේ පළලට ගැලපෙන පළලක් සහිත තනි ගල් සෑම දික් මීටරයකට ම භාවිත කළ යුතු ය. මෙයින් අත්තිවාරමේ ශක්තිය තහවුරු කෙරෙයි.

* බැම්මේ පළලට, සෑම දික් මීටරයකට (1500 mm - 1800 mm) වරක් බැම්ම හරහා බැඳුම් ගල් (Through Stones) (1500 - 1800 mm) යෙදීම.

* ආධාරක බැමි, ගොඩනැගිලි බිත්ති යනාදියට කළුගල් භාවිතයට ගන්නා විට අත්තිවාරමේ පළලට සමාන ගල් දෙපස තබා ගෙන අවශ්‍ය පළල ලබා ගැනීමෙන් පසු මැද කොටස සක්ක ගල් යොදා පුරවා ගත යුතු ය.

* බැම්මේ ගල් අතර වූ සිරස් කුස්තුර එක එල්ලේ නොපිහිටන පරිදි බැම්ම ඉදිකළ යුතු වේ. එවිට, භාරය ක්‍රියා කරන වර්ගඵලය ඉහළ සිට පහළට ක්‍රමානුකූල ව වැඩි වීමෙන් පොළොව මත අඩු පීඩනයක් ලබා දේ.

* කළුගල් භාවිතයේ දී වයිරමට ලම්බක ව බලයක් යෙදෙන පරිදි යොදා ගත යුත්තේ වයිරමට වැඩි භාරයක් දැරිය හැකි නිසාය.
(c) Shilpa Sayura Foundation 2006-2017