කළුගල්
 ස්වභාවික ව ලබාගන්නා ඉදිකිරීම් ද්‍රව්‍යයකි. කළුගලට නිශ්චිත හැඩයක් නැත. විශාල ගල්තලා පුපුරන ද්‍රව්‍ය ආධාරයෙන් පුපුරවා පසුව කුළුගෙඩි මගින් මිලිමීටර 225 × 150 හා මිලිමීටර 300 × 450 ප්‍රමාණයට සකසා ගනු ගනියි. මෙසේ ලබාගන්නා කළුගල් විෂමාකාර හැඩවලින් යුතු වුව ද අවශ්‍ය පරිදි හැඩ ගන්වා භාවිතයට ගනියි.

බැමි සඳහා යොදාගන්නා කළුගල්, තද රළු ශක්තිමත් හා කල් පවත්නා ගුණවලින් යුක්ත විය යුතු ය. කළුගල් බැමි බැඳීමේ දී සිමෙන්ති හෝ මැටි බදාම යොදාගැනේ. කළුගල් ද ගඩොල් මෙන් ම හොඳින් තෙමා ගත යුතු ය. එවිට, බදාමයේ ඇති තෙතමනය වියළි කළුගල් උරා ගැනීමෙන් බදාමය සවි වීමට එහි තිබිය යුතු තෙතමන ප්‍රමාණය අවම වීමෙන් විය හැකි ආපදා වළක්වාලයි.

කළුගල් බැමි ඉදිකිරීමේ දී හැකිතාක් දුරට හොඳ බැඳීමක් පවත්වා ගෙන යා යුතු ය. හිස් අවකාශ සක්ක ගල් සහ කුඩා ගල් කැබලිවලින් පිරවීමෙන් අවම බදාම ප්‍රමාණයක් යොදාගැනීමෙන් බැම්මේ ශක්තිය තහවුරු කෙරේ.

මෙහි දී, තුනී හා ඒකාකාරී බැමි මූට්ටු නිතර ම යොදා ගත යුතු වේ. සිරස් කුස්තුර එකෙලි ව නොතිබිය යුතු ය. බිත්තියේ සම්පූර්ණ දිග ම ඒකාකාරී ලෙස ඉහළට ගොඩනැංවිය යුතු වේ. වරකට මිලිමීටර 900ක උසකට වඩා බැම්ම ඉහළට බැඳීම නොකළ යුතු ය. ඊට වැඩි වුව හොත් අත්තිවාරම අසමානතා පතිතවීමකට (Unequal Settlement) ලක් විය හැකි ය. එමගින් පිපිරීම්, ඉරිතැලීම් වැනි දෝෂ ඇති වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017