SLS 1247 : 2008 පෝට්ලන්ඩ් පෝසොලානා සිමෙන්ති
 පෝට්ලන්ඩ් පෝසොලානා සිමෙන්ති වසර 80කට වඩා වැඩි කාලයක සිට ලෝකයේ විවිධ රටවල භාවිත වෙයි. සිමෙන්ති 75% ද පෝසොලානා 25% ද මෙහි සංයුතිය වේ.

පෝසොලානා යනු ගිණිකඳුවලින් පිටවන අළු වැනි කුඩු හැඳින්වෙන නාමයයි. එසේ ම ඉන් පිටවන ලාවා ගලා යන පස් පෘෂ්ඨය ද අධික උෂ්ණත්වයකට ඉහළ යයි. ඒ පස් ද පෝසොලානා නමින් හැඳින්වේ. පෝසොලානා ජලය සමඟ මිශ්‍ර කළ විට ඝන බවට පත්වන්නේ නැත.

එහෙත් සිමෙන්ති නිෂ්පාදනයේ දී අමුද්‍රව්‍ය ලෙස භාවිත කරන හුණුගල් හා විශේෂිත මැටි අධික උෂ්ණත්වයන්ට භාජනය වීමෙන් සෑදෙන 'ක්ලින්කර්' සමඟ පෝසොලානා සියුම් ව අඹරා මිශ්‍ර කෙරේ. භාවිතයේ දී ජලය සමඟ මිශ්‍ර කිරීමේ දී රසායනික ප්‍රතික්‍රියාවක් තුළින් සිමෙන්ති සවි වේ.

මෙම සිමෙන්ති වර්ගය සවි වීමේ දී අඩු තාපයක් ජනනය කෙරන අතර විවිධ ලවණ අඩංගු කටුක පරිසරයන්ට සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්තිවලට වඩා ඔරොත්තු දෙයි. මුහුදුබඩ ප්‍රදේශවල ඉදිකිරීම් කටයුතුවල දී ජලය රැඳවීමේ නිර්මිත සඳහා බෙහෙවින් යෝග්‍යය. පොදුවේ ගත් කළ සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති භාවිත කරන විවිධ අවස්ථා සඳහා යොදා ගත හැකි ය.
(c) Shilpa Sayura Foundation 2006-2017