කෙරෙන කාර්යය අනුව ඉඳිකිරීම් ද්‍රව්‍ය
  කෙරෙන කාර්යය පදනම් කර ගනිමින් ඉඳිකිරීම් ද්‍රව්‍ය, පිරවුම් හෝ හැටුම් ද්‍රව්‍ය, බැදුම් ද්‍රව්‍ය හා ආරක්ෂණ ද්‍රව්‍ය යන කාණ්ඩයන් තුන යටතේ ද වර්ග කළ හැකි ය.

පිරවුම් ද්‍රව්‍ය/හැටුම් ද්‍රව්‍ය (Structural materials)
ඕනෑම ඉඳිකිරීමක් මූලික වශයෙන් ගඩොල්, දැව, කළු ගල්, සෙවිලි ද්‍රව්‍ය, වානේ, වීදුරු සහ කොන්ක්‍රීට් වැනි හැටුම් ද්‍රව්‍යයන්ගෙන් සමන්විත වෙයි. ගොඩනැගිල්ලකින් අපේක්ෂා කරන මූලික අවශ්‍යතාව වන ශක්තිය, ස්ථායිතාව, හැඩය, ආරක්ෂාව සහ කල් පැවැත්ම ලබාදීම හැටුම් ද්‍රව්‍යවල මූලික කාර්යභාරය වේ.

බැඳුම් ද්‍රව්‍ය (Bonding materials)
ගොඩනැගිලි ඉඳිකිරීමේ දී, හැටුම් ද්‍රව්‍ය එක් කර රඳවා තබා ගැනීමට බැඳුම් ද්‍රව්‍ය භාවිත කෙරේ. මේ සඳහා භාවිත කෙරෙන විවිධ ද්‍රව්‍යයන් නම් සියලු බදාම විශේෂයන්, විවිධ රසායනික ද්‍රව්‍යවලින් සමන්විත ඇලවුම් විශේෂයන්, රසායනික ලකනක, යාන්ත්‍රික ලකනක ආදිය යි. බදාමවල දී සමාහාර ලෙස වැලි යොදා ගන්නා අතර, බැඳුම් ද්‍රව්‍ය ලෙස ජලය සමඟ සිමෙන්ති හෝ හුණු හෝ මැටි හෝ යොදා ගැනේ.

ආරක්ෂණ ද්‍රව්‍ය
විවිධ ආරක්ෂණ ද්‍රව්‍ය මගින් වේයන්, ගුල්ලන් වැනි සතුන්ගෙන් වන හානි වළක්වා ගැනීම, කාලගුණික හා දේශගුණික සාධකවලින් ආරක්ෂා කිරීම, පෙනුම ඔපවත් කිරීම, ජල රෝධනය හා දිලීර පාලනය ද අපේක්ෂා කෙරේ. කපරාරුවට යොදන විවිධ බදාම වර්ග ද දැව ආරක්ෂණ ද මල නිවාරණ තීන්ත ද නිදසුන් ලෙස දැක්විය හැකි ය. බිත්ති, දැව, ලෝහ, පොළොව සඳහා භාවිත කරන තීන්ත වර්ග ද මේ ගණයට අයත් ය.
(c) Shilpa Sayura Foundation 2006-2017