පීඩනය මැනීම
  රසදිය බැරෝමීටරය
රසදිය බැරෝමටරය වායුගෝලීය පීඩනය මැනීමට භාවිත කෙරෙන එක් උපකරණයකි. මෙය ඉතාලි ජාතික ටොරිසෙල්ලි (Torricelli) නම් භෞතික විද්‍යඥායාගේ සොයා ගැනීමකි.

වායුගෝලීය පීඩනය සෙවීමට ඔහු සකස් කළ ඇටවුම රූපයේ දැක්වේ. 1 m පමණ දිගැති කෙළවරක් සංවෘත වීදුරු නළයක් සම්පූර්ණයෙන් ම රසදියෙන් පුරවා රසදිය ඉවතට නොයන සේ විවෘත කෙළවර අතින් තදකර ගෙන රසදිය බඳුනක් තුළ යටිකුරුව පවතින සේ ආධාරක මගින් නළය සිරස් ව තැබේ. වායුගෝලීය පීඩනය මගින් 1m දිග රසදිය කඳක බර දැරිය නොහැකි නිසා නළයේ රසදිය කඳ පහළ බැසීම මගින් රසදිය කඳ සමතුලිත වේ.

එවිට නළයේ ඉහළ රික්තයක් හටගනී. සමතුලිත ව පවතින විට රදිය කඳේ බර මගින් ඇති කරන පීඩනය වායුගෝලීය පීඩනයට සමාන වේ. මේ නිසා රසදිය කඳේ උස මගින් වායුගෝලීය පීඩනය පෙන්නුම් කරයි. නළයට සවිකළ පරිමාණයක් යොදා ගත් විට ඉහළ නැඟි රසදිය කඳේ උස මැනිය හැක. පළමු වරට මෙම උස මැනගත් ටොරිසෙල්ලි, මෙම අගය මුහුදු මට්ටමේ දී 760 mm පමණ වන බව පෙන්වා දුන්නේ ය. රසදිය බැරෝමීටරය ලෙස හැඳන්වෙන්නේ මෙයයි.
(c) Shilpa Sayura Foundation 2006-2017