වායුගෝලීය පීඩනය (atmospheric pressure)
 අවට පරිසරයේ ඇති වාතය මගින් පරිසරය තුළ පිහිටි සෑම පදාර්ථයක් මත නිරන්තරයෙන් ම පීඩනයක් ඇති කරන බව අපට එක් වර ම නොසිතෙයි. එහෙත් පෘථිවි පෘෂ්ඨය වටා විශාල උසකට විහිදුණු වායුගෝලයේ බර නිසා මෙය සිදුවන බව දැන් අපට තේරුම් ගත හැකි ය. ද්‍රවයක් තුළ යම් ලක්ෂ්‍යයක පීඩනයට ඊට ඉහළින් ඇති ද්‍රව කඳේ උස අනුව වෙනස් වන්නා සේම යම් ලක්‍ෂ්‍යයකට ඉහළින් ඇති වායු කඳේ උස අනුව එහි බර වැඩිවන නිසා එම ලක්‍ෂ්‍යයේ පීඩනය ද ඒ ආකාරයට ම වෙනස් වේ.

මේ නිසා ම මුහුදු මට්ටමේ සිට ඉහළට යන විට වායුගෝලීය පීඩනය ක්‍රමයෙන් අඩු වේ. මුහුදු මට්ටමේ සිට 5.6 km පමණ උසකට යන විට වායුගෝලීය පීඩනය අඩකින් පමණ අඩුවේ. වාතයේ ඝනත්වය ද පෘථිවි පෘෂ්ඨයෙන් ඉහළට යත් ම ක්‍රමයෙන් අඩු වේ. එයට හේතුව වාතය ද්‍රවයක් මෙන් අසම්පීඩ්‍ය තරලයක් නොවීමයි.

මීට අමතර ව සුළඟ හමා යන වේගය, උෂ්ණත්වය, වායු ගෝලයේ ඇති කැළඹීම්, පෘථිවි පෘෂ්ඨයෙන් ඉහළට යන විට ගුරුත්වාකර්ෂණය වෙනස්වීම යනාදිය ද අනුව වායුගෝලීය පීඩනය වෙනස් වේ. මුහුදු මට්ටම ආසන්නයේ දී මෙම පීඩනය මිලිමීටර 760ක රසදිය කඳක් ඔසවා තැබීමට තරම් ප්‍රමාණවත් වේ. පෘථිවි පෘෂ්ඨයෙන් ඉහළට යත් ම මෙම අගය ක්‍රමයෙන් අඩු වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017