ඝනත්වය දෙවන කොටස
 වායුවක පීඩනය වෙනස් කළ විට පරිමාව ඉතා විශාල වශයෙන් වෙනස් වෙයි. වායුවක ඝනත්වය කෙරෙහි උෂ්ණත්වය මෙන් ම පීඩනය ද බලපායි. නිදසුනක් ලෙස වායුගෝලයේ ඝනත්වය සැලකිය හැකි ය. පෘථිවි පෘෂ්ඨය ආසන්නයේ වායුගෝලීය පීඩනය වැඩි අගයක් ගන්නා බැවින් ඝනත්වය ද වැඩි අගයක් ගනී. නමුත් පෘථිවි පෘෂ්ඨයෙන් ඉහළට යත් ම වායුගෝලීය පීඩනය ක්‍රමයෙන් අඩු වන බැවින් වාතයේ ඝනත්වය ක්‍රමයෙන් අඩු වෙයි.

ද්‍රවයක පරිමාව මැනීමට මිනුම් සරා වැනි පරිමාමිතික බඳුන් භාවිත කෙරෙයි. ඝන වස්තුවල ජ්‍යාමිතික හැඩය අනුව ඇතැම් විට දිග සහ පළල මැනීමෙන් පරිමාව ගණනය කළ හැකි ය. විෂම හැඩයකින් යුක්ත ඝන වස්තුවල පරිමාව මැනීමට විස්ථාපන බඳුනක් ජලයෙන් පුරවා, එය තුළට ඝන වස්තුව ඇතුළු කර, විස්ථාපනය වන ජල පරිමාව මිනුම් සරාවක් මගින් මැන ගත හැකි ය.

(c) Shilpa Sayura Foundation 2006-2017