ප්‍රත්‍යාස්ථ බව හා සුවිකාර්ය බව
 හොඳින් සුළං පිරවූ හා සාමාන්‍යයෙන් සුළං පිරවූ අත් පන්දු දෙකක් සලකමු. මේවා එක ම උසක සිට බිමට හෙලූ විට දෙක ම පොළා පනින මුත් හොඳින් සුළං පිරවූ පන්දුව, සාමාන්‍යයෙන් සුළං පිරවූ පන්දුවට වඩා වැඩි උසකට පොළා පනී. පොළොවේ ගැටීම නිසා පන්දු දෙකේ ම හැඩය වෙනස් වෙයි. පොළා පැනීමේ දී යළි මුල් හැඩයට පත්වේ.

මෙම පන්දු දෙකේ ප්‍රත්‍යාස්ථ බවේ වෙනසක් පවතී. වැඩි උසකට පොළා පනින පන්දුව වැඩි ප්‍රත්‍යාස්ථතාවකින් යුක්ත යයි කියැවේ. ප්‍රත්‍යාස්ථ බවින් වැඩි වස්තු මුල් හැඩයට පත්වීමේ දී, හැඩය වෙනස් වීමේ දී ගබඩා කරගත් ශක්තියෙන් බොහෝ ප්‍රමාණයක් මුදා හරී. ප්‍රත්‍යාස්ථාවෙන් අඩු වස්තු මුල් හැඩයට පත්වීමේ දී හැඩය වෙනස් කර ගැනීමේ දී ලබාගත් ශක්තිය සුළු වශයෙන් මුදා හරී. මේස පන්දුව ඉතා ඉහළ ප්‍රත්‍යාස්ථ බවකින් යුතු වස්තුවකි.

වස්තුවක් මත බලය යොදා හැඩය වෙනස් කිරීමෙන් පසු ව යෙදූ බලය ඉවත් කළ විට වස්තුව මුල් හැඩයට පත් නොවේ නම් එම ලක්ෂණය සුවිකාර්ය බව ලෙස හැඳින්වේ. තෙත මැටි ගුලියක් සලකමු. එය මත බලය යොදා හැඩය වෙනස් කර බලය ඉවත් කරමු. එවිට වස්තුව වෙනස් වූ හැඩයේ ම පවතී. මේ නිසා මැටි යනු ඉතා හොඳ සුවිකාර්ය ද්‍රව්‍යයකි.
(c) Shilpa Sayura Foundation 2006-2017