කුමාරදාස
 

ක්‍රි.ව. 515-524
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු.09 යි)

මුගලන් රජු ඇවෑමෙන් ඔහුගේ පුත් වූ කුමාරදාස හෙවත් කුමාර ධාතුසේන තෙම රජවීය. මේ රජ ඉතා ප්‍රසිද්ධ කවීන්ද්‍රයෙක්‌ විය. රාජ්‍යයයේ අභිවෘද්ධිය සඳහාද බොහෝ කටයුතු කළේය. මේ රජු විසින් බොහෝ පොත්පත් කරවන ලද බව කියා තිබේ. ජානකීහරණ සංස්‌කෘත මහාකාව්‍යද මොහු විසින් කරන ලද්දකි.

එම සන්නයේ ආධාරයෙන් විද්‍යාලංකාර පරිවේණාධිපති ශ්‍රී ධර්මාරාමභිධාන කොළඹ පළාතේ සංඝනායක ස්‌ථවිරයන් විසින් ක්‍රි.ව. 1891 දී ශ්ලෝක සංඝකරණය කරන ලදින් එක්‌දහස්‌ පන්සැටක ශ්ලෝකයෙන් යුක්‌ත වූ එම ජානකීහරණ කාව්‍යය පුරාතන සන්නයත් හා සමඟ දැනට මුද්‍රිතව පවත්නේය. මේ රජුගේ මරණය ගැන පැරකුම්බා සිරිත නම් පොතේ මෙසේ දක්‌වන ලදී.

'වෙහෙර දසටත් පුරා කරවා දස අටක්‌ මහවැවී බැඳි
වසර එකදා බිසව් අබ්සෙස්‌ මහණුවම් තෙමගුල් ටෙදී
ඇජර කිවියර පිණින් ජනකිහරණ ඈ මහකව් බැඳි
කුමර දස්‌ රද කාලිදස්‌ නම් කිවිඳුහට සියදිවි පිදී'

කුමාරදාස රජහුගේ මරණය මේ මතු කියන පරිද්දෙන් සිද්ධ වූයේ යැයි ඇතැම් පොතක පෙනේ. මේ රජ රුහුණු රට මාතර එක්‌තරා ගෙයක බිත්තියක ශ්ලෝක පද දෙකක්‌ ලියා ඉතිරි පද යොදා ශ්ලෝකය සම්පූර්ණ කළ කෙනෙකුන්ගේ යම් ඉල්ලීමක්‌ ඇත්නම් එය ඉෂ්ට කරන බැව් ද පහතින් ලියා යන්ට ගියේය. රජහුගේ මිත්‍ර වූ කාලිදාස නම් කවීන්ද්‍රයා එහි පැමිණ බිත්තියේ ලියා තිබුණු ශ්ලෝක පද දෙක දැක ඉතිරි පද දෙක ලියා ශ්ලෝකය සම්පූර්ණ කෙළේය.

ඉක්‌බිති ඒ ගෙහි වසන ස්‌ත්‍රියක්‌ කාලිදාස මරා සඟවා රජු වෙත ගොස්‌ තමා විසින් ශ්ලෝකය සම්පූර්ණ කළ බව කියා සිටියාය. නමුත් ඒ පද දෙක එවැනි ස්‌ත්‍රියකට කරන්නට නුපුළුවන් වූ ගම්භීරාර්ථ සහිත බව පෙනී ගොස්‌ ඒ ගැන පරීක්‌ෂා කරන අතර, කාලිදාසගේ මෘත ශරීරය සම්බ විය. රජ තෙමේ මිත්‍රයාගේ මරණය නිසා අතිශයින් ශෝකයට පත්ව සිට මෘත ශරීරය ආදාහනය කරන කල්හී තෙමේද ඒ ගිනි මැලයටම වැද මළේය යනුයි.

(c) Shilpa Sayura Foundation 2006-2017