දේශගුණය වෙනස් වීම් හා එහි බලපෑම
 පෘථිවියේ සියලුම ජීවීන්ට ජීවත් වීම පිණිස අවශ්‍ය ශක්තිය සහ පෘථිවියේ සියලුම ස්වභාවික ක්‍රියාවලීන්ට අවශ්‍ය ශක්තිය ආදී සියලුම ශක්ති අවශ්‍යතා සඳහා ශක්තිය ලබාදෙන්නේ සූර්යයායි. පෘථිවිය සහ සූර්යයා අතර පවතින දුර අනුව අපට සූර්යයාගෙන් යම් නියත ශක්ති ප්‍රමාණයක් ලැබෙයි.

සූර්යයාට ආසන්නයේ ම පිහිටි බුධ සහ සිකුරු වැනි ග්‍රහලෝකවලට වැඩි සූර්ය ශක්තියකුත් සූර්යයාට වඩාත් ඈතින් පිහිටි සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් වැනි ග්‍රහලෝකවලට ඉතා අඩු සූර්යය ශක්තියකුත් ලැබේ. මේ හේතුවෙන් බුධ සහ සිකුරු ග්‍රහලෝකවලට අධික උෂ්ණත්වයක් සහිත දේශගුණයකුත්, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් වැනි ග්‍රහලෝක අධික ශීත දේශගුණයකුත් නිර්මාණය වී ඇත. එනිසා මෙම ග්‍රහලෝකවල ජීවය පැවතීමට ප්‍රශස්ත උෂ්ණත්වයක් නොපවතී.

නමුත් පෘථිවිය සූර්යයාට මධ්‍යස්ථ දුරකින් ඇති බැවින් සූර්යයාගෙන් ලැබෙන ශක්ති ප්‍රමාණය නිසා පෘථිවිය තුළ ජීවයේ පැවැත්මට හිතකර උෂ්ණත්වයක් පවතී. මෙසේ සූර්යයාගෙන් පෘථිවියට පැමිණෙන ශක්ති ප්‍රමාණය වායුගෝලයේ ඉහළ සීමාවේ දී වර්ග මීටරයකට වොට් 1340ක් පමණ වෙයි. මෙය පෘථිවි වර්ගඵලය සැලකූ විට විශාල ශක්ති ප්‍රමාණයකි.

මෙසේ සූර්යයාගෙන් පෘථිවියට පැමිණෙන ශක්තිය පෘථිවියට ලැබෙන්නේ විකිරණ ශක්තිය ලෙසිනි. විකිරණ ශක්තිය ප්‍රධාන වශයෙන් දෘෂ්‍ය විකිරණ (ආලෝකය) සහ පාරජම්බුල විකිරණ ලෙස පෘථිවිය කරා පැමිණෙයි.

මෙලෙස සූර්යයාගෙන් පෘථිවියට ලැබෙන ශක්තිය පෘථිවියේ යම් විවිධ ස්වභාවික ක්‍රියාවලියන්ට ශක්තිය සපයා නැවත පෘථිවියෙන් පිටවී යයි. මෙම ලැබෙන ශක්තියෙන් අඩක් පමණ වායුගෝලය මගින් නැවත අභ්‍යවකාශයට පරාවර්තනය කරයි. මේ හේතුවෙන් පෘථිවි පෘෂ්ඨයට ළඟා වන්නේ ඉහත ඉහත සූර්යයාගේ ශක්තියෙන් අඩක් පමණී. මෙයින් යම් ප්‍රමාණයක් පෘථිවි පෘෂ්ඨය මගින් පරාවර්තනය කරන අතර ඉතිරිය පෘථිවි පෘෂ්ඨය උරාගනී.
(c) Shilpa Sayura Foundation 2006-2017