අම්ල වැසි අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග
 අම්ල වැසි ඇතිවීමට ප්‍රධාන ලෙසම හේතුවන්නේ වාතයට සල්ෆර් ඩයොක්සයිඩ් වායුව එකතු වීමයි. වාතයට සල්ෆර් ඩයොක්සයිඩ් එක් වන ප්‍රධානතම ප්‍රභවය නම් ෆොසිල ඉන්ධන දහනයයි. ගල් අඟුරු තුළ සහ ඩීසල් වැනි පෙට්‍රෝලියම් ඉන්ධනවල අපද්‍රව්‍ය ලෙස පවතින සල්ෆර් එම ඉන්ධන දහනයත් සමඟ දහනය වී සල්ෆර් ඩයොක්සයිඩ් ලෙස වාතයට එක් වෙයි.

මේ අනුව වාතයට එක්වන සල්ෆර් ඩයොක්සයිඩ් අඩු කළ හැකි ක්‍රමය නම් පිටවන සල්ෆර් ඩයොක්සයිඩ් අපවාතයට එක් වීම අවම කිරීම සහ අපවාතයෙන් පෙරා ඉවත් කිරීමයි. මේ සඳහා පහත ක්‍රම අනුගමනය කළ හැකි ය.

i. ස්වභාවිකව ම සල්ෆර් අඩු ෆොසිල ඉන්ධන (සුපිරි ඩීසල්) භාවිතය.

ii. ගල් අඟුරු තුළ ඇති සල්ෆර් අඩංගු කොටස් භෞතික ක්‍රම මගින් දහනයට පෙර ඉවත් කිරීම.

iii. ගල් අඟුරු කැල්සියම් කාබනේට් සමඟ මිශ්‍රකර දහනය කිරීම. මෙහි දී කැල්සියම් කාබනේට් දහනයෙන් ලැබෙන ඝන කැල්සියම් ඔක්සයිඩ් සමඟ SO2 ප්‍රතික්‍රියා කර ඝන කැල්සියම් සල්ෆයිට් (CaSO3) සාදා SO2 අපවාතයට එක් වීම නතර කරයි.

iv. ගල් අඟුරු දහනයෙන් ලැබෙන අපවාතය හුනුදියර හරහා ගමන් කරවීම. මෙහි දී කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් SO2 සමඟ ප්‍රතික්‍රියා කර ඝන CaSO3 සාදයි.
(c) Shilpa Sayura Foundation 2006-2017