හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග
  පරිසරයට වැඩිපුරම නිකුත් කරන හරිතාගාර වායුව නම් කාබන් ඩයොක්සයිඩ් වෙයි. මෙය පරිසරයට නිකුත් කරන ප්‍රධානතම ප්‍රභවය නම් ෆොසිල ඉන්ධන දහනයයි. අනෙක් ප්‍රභවය නම් වනාන්තර විනාශය හේතුවෙන් අදාළ ශාක කොටස් බැක්ටීරියා වියෝජනයෙන් පිටවන කාබන් ඩයොක්සයිඩ් වෙයි.

වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් එක්වීම අවම කිරීමට නම් ෆොසිල ඉන්ධන දහනය අවම කරන අතර තුර වන විනාශය ද අවම කළ යුතු යි. මේ සඳහා අලුතින් CO2 ජනනය නොවන සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභව යොදාගත හැකිය. මේ සඳහා සුළං බලය, සූර්ය ශක්තිය, ජල විදුලිය, උදම් බලය, න්‍යෂ්ටික බලය වැනි බල ශක්ති ප්‍රභව බලශක්තිය ලබාගැනීම සඳහා යොදාගත හැකි ය.

එසේ ම එතනෝල්, ජෛව ඩීසල් වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවද භාවිත කළ හැකි ය. ජෛව ඉන්ධන නිපදවන්නේ ශාක තෙල් මගින් හෝ ශාක මගින් නිපදවන පිෂ්ටය/සීනි පැසවීමට ලක් කිරීමෙනි. ජෛව ඩීසල් සහ එතනෝල් නිපදවීමේ දී ශාක ප්‍රභාසංශ්ලේෂණය මගින් කෙටිකලක් තුළ වාතයේ ම ඇති CO2 භාවිත කිරීම හේතුවෙන් මෙම ඉන්ධන දහනයෙන් වායුගෝලයට එකතුවන ශුද්ධ CO2 ප්‍රමාණය ශුන්‍ය වෙයි.

වන විනාශය වෙනුවට වේගයෙන් වර්ධනය වන ශාක වන වගා ලෙස වගා කර එම ශාක අනුසාරයෙන් කඩදාසි නිපදවීම ආදී අවශ්‍යතා වලට යොදාගැනීමෙන් වන සංහාරය අඩුකළ හැකි ය. අද ලෝකයේ බලශක්තිය නිපදවන ප්‍රධාන ම ප්‍රභවය නම් ෆොසිල ඉන්ධන දහනය යි.

මෙම බලශක්තිය විදුලිය ලෙස අප නිවසට පැමිණ අපගේ සියලු විදුලි උපකරණ ක්‍රියාත්මක කරයි. එදිනෙදා කටයුතු සඳහා විදුලි උපකරණ භාවිතය අවම කිරීමෙන් සහ කාර්යක්ෂමතාවෙන් ඉහළ උපකරණ භාවිතයෙන් ද වාතයට CO2 වායුව එක් වීම අවම කරගත හැකි ය.
(c) Shilpa Sayura Foundation 2006-2017