ගංගා ඇළ දොළවල ඇති ජලයේ pH අගය පහළ යාම
 අම්ල වැසි නිසා ඇතිවන ආම්ලික ජලය ගංගා ඇළ දොළවලට එක්වීම හේතුවෙන් එම ජලය ද ආම්ලික වී pH අගය පහළ යයි. මෙම ගංගා ඇළ දොළවල ජීවත් වන ජලජ ජීවීන් වන මසුන්, ඇල්ගී, සත්ත්ව සහ ශාක ප්ලවාංග ආදිය pH අගයට ඉතාම සංවේදි වෙයි. pH අගයේ ඉතා සුළු වෙනස්වීමක් වුවද මෙම ජීවීන්ට අහිතකර වෙයි. එසේ ම මත්ස්‍ය බිත්තරවලින් පැටවුන් බිහිනොවීම, මසුන්ගේ වර්ධනයේ අඩාළ වීන ද ජලයේ pH අගය අඩු වීම නිසා සිදුවෙයි.

එසේ ම වැව් සහ පොකුණු පතුලේ ඇති සමහර අද්‍රාව්‍ය ලවණ වර්ග ජලය ආම්ලික වීම නිසා දිය වීමට ලක්වෙයි. විශේෂයෙන් ඇලුමීනියම් ලවණ සහ අද්‍රාව්‍ය බැරලෝහ ලවණ වර්ග ආම්ලික ජලයේ ද්‍රාවණය වීමෙන් ඒවා ජලයට එක්වෙයි. මෙම ඇලුමිනියම් අයන මසුන්ට විෂ සහිත වන අතර ජලයට බැර ලෝහ එක්වීමෙන් එම ජලය දූෂණයට ලක්වෙයි. එසේ ම රසදිය වැනි බැරලෝහ මසුන්ගේ ශරීරයේ තැන්පත් වීමෙන් එම මසුන් අනුභවයෙන් මිනිස් ශරීරයට ද ඇතුළු වෙයි.
(c) Shilpa Sayura Foundation 2006-2017