ක්‍රි.ව. 254-267
අගනගරය - අනුරාධපුරය (පා.කා.අවු. 13)
ගෝඨාභය රජ රාජ්‍යයට පැමිණ කීප දවසක් ගත විය. රටවැසියෝ සංඝබෝධි රජ්ජුරුවන් ගෙනවුත් රාජ්‍යය කරන්නට උත්සාහ කරන්නේ යයි සිතා ඒ රජහු මරවන්ට කල්පනා කොට 'සිරිසඟබෝ රජුන්ගේ හිස යමෙක් ගෙනාවේ වී නම් කහවණු දහසක් තෑගි දෙන්නේ' යැයි නුවර බෙර ලැවීය. බොහෝ මිනිසුන්ගේ හිස් කපා ගෙනදුන් නමුත් ගෝඨාභය රජ ඒ සිරිසඟබෝ රජුගේ හිස නොවේ යයි ප්‍රතික්‌ෂේප කෙළේය.
මේ අතරතුරේ මායාරට වසන්නා වූ එක් දුගී පුරුෂයෙක් කිසි කටයුත්තක් නිසා බත් මුලක්‌ද බැඳ ගෙන අත්තනගලු වනයෙහි මග යන්නේ බත් කන වේලෙහි ගල්පොත්තක් සමීපයට පැමිණ එහි සිටි සිරිසඟබෝ රජු දැක ඔහු නොහැදින බතින් සංග්‍රහ කළේය. දෙදෙනම බත් අනුභව කළ කල්හි සිරිසඟබෝ රජ ඒ මඟියාගෙන් අනුරාධපුරයෙහි ප්‍රවෘත්ති විචාළේය. මගී තෙම සියලු පුවත් රජහට කීයේය.
රජ තෙම තමා නිසා බොහෝ මිනිසුන් මරනා බව මගියාගෙන් අසා දැන දුක් වූයේ මගියා හට උපකාර කරනු කැමතිව 'සිරිසඟබෝ රජ නම් මම ය. මාගේ හිස ඇරගෙන ගොස් රජහට දී කහවණු දහස ගනුව' යි හිස පෑයේය. මගීතෙම පළමුකොට භය වී හිස පිළිගන්ට නොකැමති විය.
රජු විසින් නැවතත් කී විට මගියා රජුගේ හිස පිළිගෙන අනුරාධපුරයට ගොස් ගෝඨාභය රජුට දී ධනය ලබාගත්තේය.
ගෝඨාභය රජ තෙම සිරිසඟබෝ රජු කලුරිය කළ වූ අත්තනගලු වනයෙහි චෛත්‍යයක් ද, වටදා ගෙයක් ද, කරවා ඒ වෙහෙර බොහෝ කල් පවත්නා පරිද්දෙන් පර්වත ප්‍රාන්තයෙහි සිය ගණන් පිරිවෙන්, ප්‍රාසාද, රාත්‍රීස්‌ථාන, දිවාස්‌ථාන, ධර්මශාලා, ගෝපුර, ප්‍රාකාරාදිය කරවූයේය.
මේ කාලයේ දී වෛතුල්‍යවාදය අභයගිරි විහාරයේ සමහර භික්‌ෂූන් විසින් නැවතත් පිළිගන්නා ලද බැවින් ඒ විහාරයේ විසූ ධර්මානුකුල සංඝයා තුන් සියයක් පමණ ඒ විහාරය හැරගොස් දක්‌ෂිණගිරි විහාරයෙහි විසුවෝය. වෛතුල්‍යවාදීන්ට රජු හිංසා කළ බැවින් ඔවුන්ගෙන් සමහරු ලංකාවෙන් පලාගොස් සොළී රටේ විසුවෝය.
ගෝඨාභය රජුට දෙටතිස්‌ස කියාද, මහාසේනය කියාද පුත්‍රයෝ දෙදෙනෙක් වූහ. මේ කුමාරයන් දෙදෙනාට සංඝමිත්‍ර නම් වෛතුල්‍යවාදී තෙර කෙනෙක් ශාස්‌ත්‍ර ඉගැන්වූයේය. මේ තෙර මහසෙන් කුමාරයාට විශේෂයෙන් ඇලුම් වූ බැවින්, දෙටුතිස් ඔහු හා අප්‍රසන්නව සිටියේය.
