රසායනික කර්මාන්ත හැඳින්වීම
 රසායනික ද්‍රව්‍ය නිපදවන කර්මාන්ත රසායනික කර්මාන්ත ලෙස අර්ථ දැක්වෙන අතර එම නිෂ්පාදන මිනිස් අවශ්‍යතාවන්ට හා වර්තමාන ලෝකයේ පැවැත්මට අත්‍යවශ්‍ය තත්ත්වයකි.

බලශක්ති ආධාරයෙන් අමුද්‍රව්‍ය රසායනික පරිණාමනයකට භාජනය කොට නව ගුණාංග සහිත ද්‍රව්‍ය නිෂ්පාදන ක්‍රියාවලිය රසායනික කර්මාන්තයක් ලෙස හැඳින්විය හැකි ය. මෙහි දී අමුද්‍රව්‍ය වශයෙන් ඛනිජ සම්පත්, ලෝහ වර්ග, තෙල්, ජලය සහ අර්ධ නිමි රසායනික ද්‍රව්‍ය භාවිතයට ගැනෙන අතර ඵල ලෙස නිමි හෝ අර්ධ නිමි භාණ්ඩ විශාල ලෙස නිපදවයි.

රසායනික ක්‍රියාවලියක් ආශ්‍රිතයෙන් නිපදවෙන දෑ මූලික වශයෙන් ඝන, ද්‍රව සහ වායු වශයෙන් වර්ග කළ හැකි ය. විවිධ ඵල ලෙස සැලකිය හැකි දේවලට ලුණු, කොස්ටික් සෝඩා, සෝඩා ඈෂ්, සල්ෆියුරික් අම්ලය, පොස්පරික් අම්ලය. නයිට්රික් අම්ලය, ටයිටේනියම් යනාදිය දැක්විය හැකි ය.

ඕනෑ ම රසායනික කර්මාන්තයක් පොදුවේ ගත් කළ එහි මූලික අවස්ථා මෙලෙස සරල ව දැක්විය හැකි ය. නිෂ්පාදන ක්‍රියාවේ දී රසායනික ප්‍රතික්‍රියා සිදුවීම රසායනික කර්මාන්ත සඳහා විශේෂ වේ. රසායනික කර්මාන්තයක් ක්‍රමවත්ව හා කාර්යක්ෂම ලෙස සිදු කිරීමට විවිධ ක්‍රමෝපාය, යන්ත්‍රෝපකරණ, කළමනාකරණ යන ශිල්පීය ක්‍රම යොදා ගනියි.
(c) Shilpa Sayura Foundation 2006-2017